රසායනාගාර සේවාව ශක්තිමත් කිරීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු පත්කරන ලෙස ඉල්ලීමක්

රසායනාගාර සේවාව ශක්තිමත් කිරීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු පත්කරන ලෙස ඉල්ලීමක්

පසුගිය කාලය පුරා සෞඛ්‍ය අමාතයංශය විසින් රසායනාගාර සේවාවන් සොයා බැලීම සඳහා පත්කර තිබෙන වැඩබලන සෞඛ්‍ය අධ්‍යාක්ෂවරයා වෙනුවට සාමුහිකව කටයුතු කළහැකි අවශ්‍යතා හා ගැටළු හඳුනාගෙන රසායනාගාර සේවාව පවත්වාගෙන යා හැකි සහකාර සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයකු පත්කරන ලෙසත්, මෙතෙක් ඇතිවී ඇති කරුණු ගනනාවක් යොමුකරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ගැටළු ගණනාවක් මතුවී ඇති අතර ඔහු වෛද්‍ය රසායනාගාර සේවාවේ වෘත්තිකයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ හෝ රසායනාගාර සේවාවට අදාලව පැන නැඟෙන අවශ්‍යතා හා ගැටළු වෙනුවෙන් සාමුහිකව කටයුතු නොකිරීම හේතුවෙන් රසායනාගාර සේවාව බරපතල අර්බුධයකට ලක් වෙමින් තිබේ.

ඉතා ශක්තිමත් හා සාමුහික බලවේගයක් ලෙස රසායනාගාර සේවාව පවත්වා ගැනීම කොව්ඩ් වසංගතය මර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය වන නමුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මතුවී ඇති පහත ගැටළු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.

රජයේ වෛද්‍ය රසායනාගාර තුලPCR ධාරිතාව වැඩි කිරීම සඳහා අප විසින් ඉල්ලා තිබූ නවතම තාක්ෂණික උපක්‍රම සහිත යන්ත්‍ර ලබා දීමට හෝ ඒ පිළිබඳ අදාල අංශ නිවැරදිව දැනුවත් කිරීමට කටයුතු නොකිරීම. ඒ හේතුවෙන් දැනට සෑම රසායනාගාරයකම PCR වාර්තාවක් ලබා ගැනීම සඳහා පැය 8 ක පමණ අවම කාලයක් ගතවන අතර අදාල තාක්ෂණය ලබා දුන්නේ නම් එය පැයක උපරිම කාලයකදී සිදු කල හැකි වීම.

PCR රසායනාගාර සඳහා අවශ්‍යසැපයුම් පද්ධතිය අඛණ්ඩව පවත්වා නොගැනීම සහ ඊට අදාල අඩු පාඩු පිළිබඳව සාකච්ඡා කිරීමට හෝ ඉදිරිපත් නොවීම.

නව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන්113 දෙනෙකු පත් කිරීම ප්‍රමාද කිරීම. එහි අවශ්‍යතාවයන් පිළිබඳව සාමුහිකව සාකච්ඡා නොකිරීම සහ ඒ හේතුවෙන් PCR රසායනාගාර සඳහා අවශ්‍ය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ කාර්ය මණ්ඩලය නිවැරදි ලෙස පත් කිරීමට නොහැකි වීම.

දිවයින පුරා ඇතිPCR රසායනාගාර තුල සේවයේ යෙදී සිටින වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් සඳහා අතිකාල ගෙවීමේ ගැටළු සහ සීමාවන් පැනවීම හේතුවෙන් එම රසායනාගාර සේවා අවශ්‍යතාවය පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට බාධා ඇති වීම. කැපවීමෙන් සේවය ආවරණය කරන නිළධාරීන්ගේ සාමාන්‍ය දීමනා පවා කප්පාදුවට ලක් වීම වැනි කරුණු හේතුවෙන් PCR ධාරිතාවේ උපරිමයකට යාමට නොහැකිවීම. අවම වශයෙන් මෙම ගැටළු සාකච්ඡා කිරීමට යාන්ත්‍රණයක් රසායනාගාර සේවාව තුල නොතිබීම.

දිනකටPCR පරීක්ෂණ 4000ක් පමණ සිදුකල හැකි ක්ෂයරෝග හා ළය රෝග මර්ධන ව්‍යාපාරය යටතේ සෞඛ්‍ය ආයතන 36ක ස්ථාපිත කර ඇති PCR යන්ත්‍ර සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්‍රීයක ලබා නොදීම, ප්‍රතික්‍රීයක සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය යෝජනා කිසිවක් සැලකිල්ලට නොගැනීම.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිෂ්පාදනය කරමින් තිබූ වෛරස ප්‍රවාහන මාධ්‍ය (VTM) කට්ටල නිෂ්පාදනය ක්‍රමානුකූලව අකර්මණ්‍ය කරමින් සම්පූර්ණයෙන් නතර කර දැමීම. එසේම පෙර අවස්ථාවකදී ඇතිවූ ගැටළු කිහිපයක් හේතුවෙන් භාවිතයට ගැනීමට නිර්දේශ කර නොතිබූනු සමාගමකින් වෛරස ප්‍රවාහන මාධ්‍ය (VTM)කට්ටල ඇණවුම් කිරීම ආරම්භ කිරීම.

බණ්ඩාරනායක ජාතික ගුවන් තොටුපලේ නිස්සාරක(Extraction) යන්ත්‍ර සඳහා ගෙන්වා තිබූ ප්‍රතික්‍රීයක කට්ටල ගුවන් තොටුපල ගබඩා වලින් නිදහස් කර ගැනීම පමා කිරීම, නිදහස් කරගත් එම ප්‍රතික්‍රීයක වල ශීත දාම (Cold chain) පවත්වා නොගැනීම හේතුවෙන් භාවිතයට නොගන්නා ලෙස උපදෙස් දීම සහ මෙතෙක් ඒවා භාවිතයට ගත හැකිද යන්න පිළිබඳව පරීක්ෂාවට ලක් නොකිරීම වැනි තත්වයන් හේතුවෙන් එම ප්‍රතික්‍රීයක නාස්තියට පත් වීමට ඉඩ හැරීම. මේ හේතුවෙන් විනාඩි 18කදී කල හැකි කෝවිඩ් වෛරස නිස්සාරණ ක්‍රියාවලිය සඳහා පැය 2 සිට පැය 4 ක පමණ කාලයක් ගතවීම එම රසායනාගාරයේ ධාරිතාව අඩු වීමට ප්‍රබල හේතුවක් වී ඇත.

මුල්ලේරියාවPCR රසායනාගරයට ඉතා විශාල මුදලක් වියදම් කර චීන සමාගමක් හරහා ගෙන්වාගත් PCR පරීක්ෂණ වලට අදාල යන්ත්‍ර වරින් වර බිඳවැටීමට ලක්වීම, අකර්මණ්‍ය වීම සහ ඒවා කඩිනමින් යථා තත්වයට පත් නොකිරීම හේතුවෙන් සාපේක්ෂව එම රසායනාගාරය ඉතා අවම PCR ධාරිතාවක් ආවරණය කරන තත්ත්වයට පත්වීම. එසේම මෙම රසායනාගාරයේ සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා අත්‍යාවශ්‍ය පුද්ගලික ආරක්ෂණ ඇඳුම් මාරුකර ගැනීමේ ස්ථානයක් හෝ රාජකාරී අතරවාරයේ රසායනාගාර කටයුතු වලට නිරාවරණය නොවී සිටීමේ ස්ථානයක් රසායනාගාරය තුල හෝ ඊට යාබදව නොමැති වීම මත ඒ සඳහා විශාල දුරක් ඇවිද යාමට සිදුවීම හේතුවෙන් අනවශ්‍ය ශ්‍රමයක් සහ අනාරක්ෂාවකට ලක්ව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂාකර බැලීම පවා තහනම් කර තිබූ ක්ෂණික පරීක්ෂණ ගෙන්වන බවට මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීම සහ ඊට අදාල රසායනාගාර උපක්‍රම පිළිබඳව අදාල විෂය ප්‍රවීණයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ සාකච්ඡා නොකිරීම.

මූලික රෝහල් මට්ටම දක්වා දැනට ස්ථාපිත කර ඇති ජීව රසායන විද්‍යා උපකරණ පද්ධතිය භාවිතා කරමින් රසායනාගාර තුල ප්‍රතිදේහ හා ප්‍රතිදේහජනක පරීක්ෂණ ඉතා පහසුවෙන්, අඩු පිරිවැයකින්, කෙටි කාලයකින්, ඉතා විශාල ප්‍රමාණ වලින්, අවම ආරක්ෂණ තත්ත්ව යටතේ දිවයින පුරා සිදු කල හැකිව තිබියදී ඊට අදාල ප්‍රතික්‍රීයක ලබා නොදෙමින් ඒ පිළිබඳව සාකච්ඡා නොකරමින් ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනක පරීක්ෂණ පිළිබඳව ලෝකයේ ඇති අසාර්ථකම ක්‍රමවේදය වන ක්ෂණික පරීක්ෂණ සඳහා අනියම් ප්‍රචාරාත්මක වාසියක් ලබා දෙමින් සිටීම.

PCR පරීක්ෂණ සිදු කරමින් සිටින වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් නොසලකා හරිමින් හා පරීක්ෂණය සිදු කරන වෘත්තිකයන් පිළිබඳව මහජනතාවට වැරදි අවබෝධයක් ලැබෙන පරිදි මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කිරීම.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) යටතේ රසායනාගාර සේවාව පිළිබඳව තීරණ ගැනීමේදී ඊට අදාල වෘත්තීයවේදී ආයතන වනරක්තවේදී වෘත්තීයවේදී අයතනය (College of Hematologist), ජීව රසායනවේදී වෘත්තීයවේදී ආයතනය (College of Chemical Pathologist), ක්ෂුද්‍රජීවවේදී වෘත්තීයවේදී ආයතනය (College of Microbiologist), පටකවේදී වෘත්තීයවේදී අයතනය (College of Histopathologist) වෛද්‍ය රසායනාගාරවේදී වෘත්තීයවේදී ආයතනය (College of Medical Laboratory Science) සමඟ සාකච්ඡා කිරීම දීර්ඝකාලයක් තිස්සේ පැවති සම්ප්‍රදාය වන නමුත් වර්තමාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එක් වතාවක් හෝ එසේ සිදු නොකිරීම. එසේම සමහර නිළ සාකච්ඡාවලදී වෘත්තීයවේදී ආයතනවලට දෝෂාරෝපණය කරමින් හා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගනු ලබන එම ආයතන වල ලියාපදිංචිය වැනි කරුණු තැන තැන ප්‍රශ්ණ කරමින් අනවශ්‍ය ගැටළුකාරී තත්ත්වයන් ඇති කිරීම.

උක්ත ගැටළු හේතුවෙන් අප රසායනාගාර සේවාව මෙම අර්බුධකාරී අවස්ථාවේ ජව සම්පන්න ලෙස ඉදිරියට ගෙන යාමට බරපතල බාධාවක් වීඇත. එසේම රජයේ රසායනාගාර වල PCR ධාරිතාව වැඩි කිරීම සඳහා පසුගිය මාස කිහිපය තුල තිබූ ස්වර්ණමය අවස්ථාවන් මඟ හරිමින් සහ ඒ පිළිබඳ සාකච්ඡා නොකරමින් සිදුකල හැකි PCR ධාරිතාව අහවරවී ඇති බවට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ප්‍රකාශ කරමින් සන්තර්පනය වීමට උත්සහ දැරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවට අපකීර්තියකි. එසේම ඉතාම පහසුවෙන් විසඳය හැකි ගැටළුවලදී පවා අනවශ්‍ය ගැටළු ඇති කර ගන්නා නායකයෙකු යටතේ ඉදිරියේදී මෙම සේවාව බරපතල අර්බුධයකට ලක් විය හැකි බැවින් මෙම තත්ත්වය පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමු කර සාමුහිකව වැඩ කල හැකි එහි අගය දන්නා පරිපාලකයෙකු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) ලෙස කඩිනමින් පත් කරන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු

එසේ නොවන්නේ නම් මෙම වසංගත තත්ත්වය යටතේ හෝ ඉදිරියේදී රටේ සහ මහජනතාවගේ අවශ්‍යතාවය රසායනාගාර සේවාව හරහා ඉටු නොවීම පිළිබඳ වගකීම අප විසින් භාර ගනු නොලබන බවත් අනවශ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැසක් ඇති වීමට එය හේතුවක් විය හැකි බවත් ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.

වැඩබිම