පෞද්ගලික අංශයේ සේවකයින්ට සහන සලසන තින්දුව ගත්තේ මොන පදනමකින්ද ?

පෞද්ගලික අංශයේ සේවකයින්ට සහන සලසන තින්දුව ගත්තේ මොන පදනමකින්ද ?

COVID වසංගතය නැවත ව්‍යාප්තවීම හා අදාලව පෞද්ගලික අංශයේ සේවකයින්ට දෙසැම්බර් මස දක්වා සහන සැළසීම සම්බන්ධව 2020 ඔක්තෝම්බර් මස 27 වන දින ජන මාධ්‍යය ඔස්සේ විකාශනය වු සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල විසින් උක්ත කරුණට අදාලව කරන ලද ප‍්‍රකාශය හා සම්බන්ධව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමුකරමින් වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් පිරිසක් ඉල්ලා සිටින්නේ එය කැබිනට් වාර්තාව පදනම් කරගත් තින්දුවක්ද නැතහොත් කම්කරු අමාත්‍යවරයා ලෙස සකස් කළ වාර්තාව පදනම් කරගත් තින්දුවක්ද යන්න දන්වා සිටින ලෙසය.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කරන ලද ප‍්‍රකාශයට අනුව සැප්තැම්බර් මස දක්වා ක‍්‍රියාත්මක වෙමින් තිබූ ත්‍රෛපාක්ෂික ගිවිසුම දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතත් ඔබ විසින් මුලසුන හොබවන ලද ඔක්තෝම්බර් මස 12 වැනි දින පැවැත්වූ ත්‍රෛපාක්ෂික රැස්වීමේදී දැනට ක‍්‍රියාත්මක වන ත්‍රෛපාක්ෂික කාර්ය සාධන බාලකායේ ගිවිසුම සංචාරක ව්‍යාපාරයට පමණක් දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ නමුත්, අනෙකුත් ක්ෂේත‍්‍රවලට දීර්ඝ කිරීමට තීරණය නොකරන ලදී. මෙම ත්‍රෛපාක්ෂික රැස්වීමේදී තීරණය කරන ලද්දේ මුල් ගිවිසුම සංචාරක කර්මාන්තයට පමණක් අදාළ වන සේ දීර්ඝ කිරීමටත් අනෙකුත් සියලූම අංශවල දුෂ්කරතා වලට මුහුණ පා ඇති සේවායෝජකයන් විසින් කම්කරු කොමසාරිස් ජනරාල් වෙත ඉල්ලූම් කළ යුතු බවත්, එකී ඉල්ලීම් වෙන් වෙන් වශයෙන් ඇගයීමට ලක් කර තීරණය කළ යුතු බවත් ය.

ත්‍රෛපාක්ෂික ගිවිසුමේ පාර්ශවකරුවන් වන සේවායෝජක නියෝජිත පිරිස විසින් මෙම ගිවිසුම 2020 අග දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලූම් කළ බව ඔබට මතක ඇත. ඔබ විසින් ඉල්ලා සිටි පරිදි ඇඟළුම් ක්ෂේත‍්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව තොරතුරු පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව ඇඟළුම් මෙන්ම අනෙකුත් අංශවල සේවකයින්ට වැටුප් ගෙවීමට ඔවුනට හැකි බැවින් දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බවට එකඟ වන ලදී. 2019 මාර්තු සිට අගෝස්තු දක්වා සහ 2020 මාර්තු සිට අගෝස්තු දක්වාත් ඒකාබද්ධ ඇඟළුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංසදය Joint Apparel Association Forum(JAAF) විසින් ඉදිරිපත් කර ඇති අපනයන විස්තර වලට අනුව සේවකයින් අඩු ප‍්‍රමාණයක් සේවයේ යෙදවුවද බැලූ බැල්මට ඇඟළුම් අපනයන ආදායමෙහි කිසිඳු අඩුවක් දක්නට නොලැබේ.

ත්‍රෛපාක්ෂික බලකායට ඒත්තු ගැන්වෙන පරිදි පවතින තත්ත්වය පිළිබඳව සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගත් තීරණය 2020 දෙසැම්බර් අග දක්වා සියලූම ක්ෂේත‍්‍රවල සේවා යෝජකයින්ට දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගන්නා ලද තීරණය මගින් ත්‍රෛපාක්ෂික බලකාය ගන්නා ලද තීරණය පිළිබද පරස්පර විරෝධී අදහස් ගෙන හැර දැක්වීම හේතුවෙන් අප කනස්සල්ලට පත් වූයෙමු. කම්කරු අමාත්‍යවරයා වශයෙන් ඔබ විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුකූලව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කරන ලද ප‍්‍රකාශය ආරෝපණය වී ඇත.

මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ඔබේ වාර්තාව පදනම් කොට ගන්නා ලද්දක් ද එසේ නැතහොත් ඔබේ වාර්තාවට පටහැනිව ගන්නා ලද්දක්ද යන්න දැනගැනීමට අවශ්‍යය. අප‍්‍රමාදව ඔබගේ ප‍්‍රතිචාර අපි බලාපොරොත්තු වන්නෙමු.

ඇන්ටන් මාකස්, සම ලේකම්, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය – ලෙස්ලි දේවේන්ද්‍ර, ප‍්‍රධාන ලේකම්, නිදහස් සේවක සංගමය – සිල්වෙස්ටර් ජයකොඩි, ප‍්‍රධාන ලේකම්, ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය – ලීනස් ජයතිලක, සභාපති, එක්සත් කම්කරු සම්මේලනය – පද්මසිරි රණවකාරච්චි, සභාපති, ජාතික වෘත්තීය සමිති සම්මේලනය – පාලිත අතුකෝරල, සභාපති, සී පෙයාරස් යූනියන්