හලාවත වැවිලි සමාගම වතුකාර්ය මණ්ඩලය සඳහා නව සාමූහික ගිවිසුමට අත්සන් තබයි


  • agreement chathura
  • කාර්ය මණ්ඩල වැටුප් 20% කින් ඉහළට
  • වාර්ෂික වැටුප් වර්ධකයේ වැඩිවීම් 43%ක්
  • ඉදිරි රාජ්‍ය වැටුප් වැඩිවීමත් හිමියි

හලාවත වැවිලි සමාගමේ වතු කාර්ය මණ්ඩලය සඳහා වූ නව සාමූහික ගිවිසුම නොවැම්බර් 06 දා හලාවත වැවිලි සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී අත්සන් තැබීය. මෙම සාමූහික ගිවිසුම 2020 අගෝස්තු මස පළමුදා සිට 2023 ජුලි මස 31 දක්වා බලපවත්වනු ලබන අතර හලාවත වැවිලි සමාගම වෙනුවෙන් එහි සභාපති, ප‍්‍රධාන විධායක නිලධාරී රූකාන්ත පෙරේරා මහතාද ලංකා වතු සේවා සංගමය වෙනුවෙන් එහි සභාපති චතුර සමරසිංහ මහතාද අත්සන් තබන ලදී.

නව ගිවිසුම තුළින් 20%ක මූලික වැටුප් වැඩිවීමක්ද, වාර්ෂික වැටුප් වර්ධකය 43% කින් ද, රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරනු ලබන අවස්ථාවල එම වැටුප් වතු කාර්ය මණ්ඩලයටද, හිමිකම් ලබන අතර ගෙවල් කුලී දීමනාව 10% කින්ද, අධීක්‍ෂණ කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන දීමනාවක්ද, ලීටර් 500ක පානීය ජල දීමනාවක් ද, හදිසි අනතුරු රක්‍ෂණ ආවරණයක් ඇතුළුව වෘත්තීය සුරක්‍ෂිතභාවය, වෘත්තීය ගරුත්වය, අධ්‍යාපනය සහ සේවක සුභසාධනයට අදාලව සේවක යහපතට හේතුවනු පිණිස ඉල්ලීම් ගණනාවක් දිනා ගැනීමට සමත්විය. මෙම ගිවිසුමේ සාක්‍ෂිකරුවන් ලෙස හලාවත වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී මහින්ද රණවීර, මානව සම්පත් කළමණාකරු තිස්ස අතපත්තු සහ ලංකා වතු සේවා සංගමය වෙනුවෙන් ප‍්‍රධාන ලේකම් රොබට් ෆ‍්‍රැන්සිස් සහ සතර කෝරළ ශාඛා සභාපති රණවීර බණ්ඩාර යන මහත්වරු අත්සන් කලහ.

නව ගිවිසුම පිළිබඳව අදහස් දැක්වූ ලංවසේස සභාපති චතුර සමරසිංහ මහතා කියා සිටියේ නව සාමූහික ගිවිසුම රටේ පවතින අයහපත් වාතාවරණය තුළ වුවද හලාවත වතු කාර්ය මණ්ඩලයට වඩා යහපත් ආර්ථික, සමාජීය සුභසාධනය හා අධ්‍යාපන වරප‍්‍රසාද හිමිකර දීමට සමත්වීමද, ඉදිරියේදී රාජ්‍ය  සේවක වැටුප් වැඩිවීම්වලදී එයට සමගාමීව වැටුප් සංශෝධන ලබා ගැනීමට හැකි වන ලෙස නව ගිවිසුම මගින් ලබා ගැනීම වතු සේවා සංගමය සහ හලාවත වැවිලි කාර්ය මණ්ඩලය ලැබූ ජයග‍්‍රහණයක් බවය. එසේම සේවක ඉල්ලීම් වෙනුවෙන් සංවේදීව කටයුතු කළ හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඞ් රූකාන්ත පෙරේරා මහතාට සහ ඉහළ විධායක නිලධාරීන්ටද සංගමයේ ස්තුතිය පුදකරන බවය.

හලාවත වතු කාර්ය මණ්ඩලයට බොහෝ යහපත් සේවා කොන්දේසි සහිත වැටුප් ලැබෙන නව සාමූහික ගිවිසුමක් අත්සන් තැබීමට හැකිවීම ගැන සංගමයේ අභිනව ප‍්‍රධාන ලේකම්වරයා ලෙස තමන් සතුටු වන බවත් එවැනි උණුසුම් ආරම්භයක් ලබා ගනිමින් සිය කටයුතු ආරම්භ කිරීමට හැකිවීම ගැන සතුටට පත්වන බවත් නව ප‍්‍රධාන ලේකම් රොබට් ෆ‍්‍රැන්සිස් මහතා කියා සිටියේය.

වැඩබිම