ආණ්ඩුව ගුරු සංගම් වලට චෝදනා කරන බවට චෝදනා කරයි

ආණ්ඩුව ගුරු සංගම් වලට චෝදනා කරන බවට චෝදනා කරයි

සැලසුමක් නොමැතිව පාසල් ආරම්භ කිරීමේ අසාර්ථකත්වය වසා ගැනීමට ආණ්ඩුව ගුරු සංගම්වලට චෝදනා කරන බව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති, ජෝශප් ස්ටාලින් මහතා කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කෝවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමත් සමග වසා තිබූ පාසල් වල 6 -13 ශ්‍රේණි 2020.11.23 දින ආරම්භ විය. බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද ප‍්‍රදේශවල පාසල්හැර මෙසේ අනෙකුත් පාසල් ඊයේ දින ආරම්භ කරන ලද්දේ කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමට අදාළ කිසිදු විධිමත් වැඩපිළිවෙලකින් තොරවය. 2020.11.19 වන බ‍්‍රහස්පතින්දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හදිසියේ ම නිවේදනය කරන ලද්දේ 23 වන සදුදා දින සිට පාසල් ආරම්භ කරන බවයි. ගුරු විදුහල්පතිවරු නියෝජනය කරන වෘත්තීය සමිති හෝ ක්ෂේත‍්‍රයේ අනෙකුත් පිරිස්වල අදහස් විමසීමකින් තොරව මෙසේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සිය විරෝධය පළ කර සිටින ලදී. එසේම වෘත්තීය සමිති විසින් ප‍්‍රකාශ කර සිටියේ 11, 12, 13 ශ්‍රේණි පමණක් ආරම්භ කර ඉදිරි සතියක කාලය තුළ අනෙකුත් පන්ති ආරම්භ කිරීම පිළිබඳව තීරණය කළ යුතු බවයි.

එසේ නොමැතිව ඊයේ දින පාසල් ආරම්භ වුවද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවති අතර (24)  දිනයේ ද සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පවතී. මෙයින් පැහැදිලි වන්නේ කිසිදු සැලසුමකින් තොරව ආරම්භ වූ පාසල් වෙත තම දරුවන් එවීමට දෙමව්පියන් ක‍්‍රියා කර නැති බවයි.

මේ තත්ත්වය තුළ අධ්‍යාපන ලේකම්වරයා හා කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් (24) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පාසල් ආරම්භ කිරීමට වෘත්තීය සමිති විරුද්ධ වන්නේ විවිධ දේශපාලන වුවමනා වෙනුවෙන් යයි ප‍්‍රකාශ කරමින් තම අසාර්ථකත්වය වසා ගැනීමට ගුරුසංගම් වෙත චෝදනා කරන ලදී.

පැහැදිලිව කිව යුත්තේ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති විසින් කිසිවිටෙකත් පාසල් ආරම්භ නොකළ යුතු බව ප‍්‍රකාශ නොකරන ලද බවයි. වෘත්තීය සමිති විසින් පෙන්වා දුන්නේ කෝවිඞ් 19 පළමු ව්‍යාප්තියෙන් පසු පියවර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කළ ආකාරයට සෞඛ්‍ය අංශවල උපදෙස් හා නිර්දේශ අනුව විධිමත් සැලැස්මක් යටතේ පාසල් ආරම්භ කරන ලෙසයි. එසේම පාසල්වල සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා විධිමත් ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව වෘත්තීය සමිති අවධාරණය කර සිටින ලදී.

අධ්‍යාපන ලේකම්වරයා ඉලක්කම් විජ්ජාවක් පෙන්වමින් පාසල්වල සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා මුදල් වෙන් කළ බව මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කළ ද මේ දක්වා අදාළ මුදල් භෞතිකව පාසල්වලට ලැබී නොමැති අතර, සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් වෙනුවෙන් පිරිවැය දැරීමට සිදුව ඇත්තේ දෙමාපියන්ටය. අධ්‍යාපන ලේකම්වරයාගේ ඉලක්කම් විජ්ජාවන් හා වගකීම් විරහිත කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් දෙමාපියන් විරෝධය පළ කර ඇත්තේ තම දරුවන් පාසල් වෙත එවීමට කටයුතු නොකිරීමෙනි. මේ තත්වය තුළ ගුරුවරුන්ට පමණක් අවදානම් තත්වය තුළ පාසලට පැමිණ නිකරුණේ කාලය ගත කිරීමට සිදුව ඇත.

මේ තත්වය තුළ වෘත්තීය සමිතිවලට චෝදනා කිරීම පසෙක තබා අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආරම්භ කර පවත්වා ගෙන යාම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. එසේම පාසල තුළින් තම දරුවාට කෝවිඩ් 19 වසංගතය ආසාධනය වීම සිදු නොවන බවට දෙමාපියන් තුළ විශ්වාසයක් ඇති කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතු අතර, පාසල සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සහිතව කටයුතු කළ යුතුය.

වැඩබිම