පාසල් විවෘත කිරීම පිළිබඳ කාර්ය සාධක බලකාය පැහැදිලි කිරීමක් කළ යුතුයි

පාසල් විවෘත කිරීම පිළිබඳ කාර්ය සාධක බලකාය පැහැදිලි කිරීමක් කළ යුතුයි

කෝවිඩ් - 19 ව්‍යාප්තිය තෙවන මට්ටමේ පැවතියදී පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකාය පැහැදිලි කිරීමක් කළ යුතු බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ,

මේ වන විට කෝවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය ශී‍්‍ර ලංකාව තුළ තෙවන මට්ටමේ පවතින බවට කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකාය 2020.11.24 දින පැවති පවත්වන ලද සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

එම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථාන ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගි වී ඇත.

කෝවිඞ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව 2020.11.08 දිනැතිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති ලිපියෙහි කෝවිඩ් 19 ව්‍යාප්තියේ මට්ටම් 4 ක් දක්වා ඇති අතර, එම එක් එක් මට්ටමේ දී කටයුතු කළ යුතු ආකාරය ද දක්වා ඇත. ඒ අනුව කෝවිඩ් 19 තෙවන මට්ටමේ ව්‍යාප්තිය තුළ දී පාසල් වසා දැමිය යුතු බව එහි සඳහන් වේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවල කෝවිඞ් 19 තෙවන මට්ටමට ව්‍යාප්තවීමේදී පාසල් වැසිය යුතු බව පැහැදිව ප‍්‍රකාශ කර තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කිසිදු පූර්ව සූදානමකින් හෝ නිසි සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රමවේද පිළිබඳ වැඩපිළිවෙලක් රහිතව බස්නාහිර පළාත සහ හුදකලා කළ ප‍්‍රදේශ හැර අනෙකුත් ප‍්‍රදේශවල පාසල් නොවැම්බර් 23 දින ආරම්භ කරන ලදී.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ හා අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම පරස්පර විරෝධී තත්වයකි. මෙසේ පරස්පර තත්වයන් යටතේ රාජ්‍ය ආයතන විසින් කටයුතු කිරීම තුළ ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවන්ගේ සහ දෙක්ෂ හතලිත් හත්දහසක් පමණ වන ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන පද්ධතිය කෝවිඩ් අවදානමට ලක් කිරීමක් සිදු වේ.

මේ තත්ත්වය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ අනුව කෝවිඩ් 19 පැතිරීම තෙවන මට්ටමේ පැවතියදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම පිළිබඳව පවතින පරස්පර තත්ත්වය සම්බන්ධයෙන් කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකාය විසින් වහා පැහැදිලි කිරීමක් කළ යුතුය.

වැඩබිම