අධ්‍යාපන ලේකම්වරයා නියෝග කඩකරන බව කියයි

අධ්‍යාපන ලේකම්වරයා නියෝග කඩකරන බව කියයි

 

2021 වසරේ පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 බව තහවුරු කර ඇති අධ්‍යාපන ලේකම්වරයාම ජනපි‍්‍රය පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සීමාව ඉක්මවා සිසුන් ඇතුළත් කර ඇති බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

2016 වසරේ සිට පාසලක එක් පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35 කට සීමා කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016 වසරේ සිට වසරකට එක් සිසුවා බැගින් අඩු කර 2021 වසරේ 35 සීමාවට ගෙන ඒමට කටයුතු කළේය.

එහෙත් වත්මන් රජය බලයට පත් වූ පසු එම සීමාව වෙනස් කර පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 45 දක්වා වැඩි කීරීමට උත්සාහ ගත් අතර, ඊට එරෙහිව ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට කටයුතු යොදමින් තිබුණි. එසේ තිබියදී වත්මන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් 2020.12.04 දිනැතිව ED/12/11/02/02 අංකයෙන් සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු අමතමින් යොමු කරන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ 2019.05.24 දිනැති 29/2019 චක‍්‍රලේඛයෙහි 4.1 වගන්තිය අනුව 2021 වර්ෂයේ හා ඉන් ඉදිරියට පළමු වන ශ්‍රේණියේ එක් සමාන්තර පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් විය යුතු බවයි. අධ්‍යාපන ලේකම්වරයා මෙම ලිපියෙන් දක්වා ඇති තීරණය අගය කරමු.

එහෙත් කනගාටුදායක තත්ත්වය වන්නේ ඉහත ආකාරයෙන් අගය කළ යුතු තීරණයක් ගත් අධ්‍යාපන ලේකම්වරයා ම අති ජනපි‍්‍රය ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සීමාව ඉක්මවා සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කිරීමයි. මේ වන විට කොළඹ ප‍්‍රධාන පෙළේ ජාතික පාසල් ඇතුළු දිවයින පුරා ප‍්‍රධාන පෙළේ ජාතික පාසල් සඳහා මේ ආකාරයෙන් මැති ඇමතිවරුන්ගේ සහ දේශපාලන හිතවතුන්ගේ දරුවන් ඇතුළත් කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටීම කනගාටුදායක තත්වයකි.

පැවති යහපාලන රජය මේ ආකාරයෙන් අවිධිමත්ව අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී කොළඹ රාජකීය විද්‍යාලයීය සංගමය CA(WRT)/387/2019 අංකයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබුණි. එම පෙත්සමට අදාළ අතුරු තහනම් නියෝගයක් 2019.10.14 වන දින නිකුත් කරන ලද අතර, එහි සඳහන් කර තිබුණේ 2012 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය SCFR 235/2011 අංකයෙන් යුතු පෙත්සමට ලබාදුන් තීන්දුව අනුව 35 සීමාව ඉක්මවා ළමුන් ඇතුළත් නොකළ යුතු බවයි.

මේ ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් සීමාව ඉක්මවා ළමුන් ඇතුළත් නොකළ යුතු බවට නියෝග තිබියදී බලයට පැමිණෙන ආණ්ඩු තම හිතවතුන්ගේ දරුවන් අති ජනපි‍්‍රය ජාතික පාසල්වලට අනීතිකව ඇතුළත් කිරීම වහා නරත කළ යුතුය. පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ තරගය අවම කිරීමට ජාතික පාසල් දහසක් නිර්මාණය කරන බවට 2020.12.08 දින තීන්දු ගත් බව ප‍්‍රකාශ කරමින් ප‍්‍රමුඛතා ලේඛනවල සහ සාධාරණ ක‍්‍රම මගින් ප‍්‍රධාන පෙළේ ජනපි‍්‍රය ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් නොකර දේශපාලන උවමනාවන් මත ළමුන් අනීතික ලෙස ඇතුළත් කිරීම ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙතකි.