කොවිඩ් නව ප්‍රභේද හඳුනා ගන්නා යන්ත්‍ර ලංකාවේ නෑ (VIDEO)

නව කොවිඩ් ප්‍රභේද හදුනා ගැනීමට අවශ්‍ය එකම එක ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම බරපතල තත්ත්වයකි.

නව ප්‍රභේද ඇතිවීම කොවිඩ් පවුලේ වෛරස වල සාමාන්‍ය තත්වයක් ලෙස සැලකිය හැකි වුවද, වසංගතය පාලනය කිරීමේදී එය බරපතල අවධානයට ලක් විය යුතු කරුණකි. මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක නව කොවිඩ් ප්‍රභේද හේතුවෙන් බරපතල තත්ත්වයක් ඇතිවී තිබේ.

කොවිඩ් නව ප්‍රභේද පිළිබදව අධ්‍යනය කිරීම සදහා අවශ්‍ය "ජාන අනුක්‍රමික විෂ්ලේශක යන්ත්‍ර" සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර කිසිවක හෝ නොමැත්වීම හේතුවෙන්, එවැනි පර්යේෂණ සිදු කිරීමේ හැකියාවක්, වෛද්‍ය පරීක්ෂණ ආයතනය ඇතුළු සෞඛ්‍යා අමාත්‍යාංශ රසායනාගාර වලට නොහැකි වීම පිළිබදව රජය සහ සෞඛ්‍ය බලධාරීන් වඩා වැඩි අවධානයක් යොමු කල යුතුව ඇත.

මෙකී ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර (Gene Sequencing Analysers) මිල දී ගැනීම සදහා අවථා තුනකිදී උත්සහ කර ඇති නමුත්, එය කිසියම් පාර්ෂවයක බලපෑම මත නැවත නැවත් අත් හිටුවීමක් සිදුවන බව නිරීක්ෂණය වේ. කොවිඩ් වසංගතය පැතිරුණු මුල් අවස්ථාවේදී ආසියණු සංවර්ධන බැංකුව හරහා එම යන්ත්‍රයක් වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල ස්ථාපිත කිරීමට අදාල සියළු කටයුතු සිදුකර, සෞඛ්‍ය බලධාරීන් විසින් එය නොසලකා හරින ලදී.

පසුගිය අප්‍රේල් මාසයේදී ලෝක බැංකු ආධාර යටතේ ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර කිහිපයක් මිලදී ගැනීම සදහා, යුනිසෙෆ් ආයතනය විසින් ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබියදී, 'කොරෝනා දැං ඉවරයි" කියමින් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු විසින්, එම සියළු උපකරණ මිල දී ගැනීම අත්හිටවූ බව තොරතුරු වාර්තා විය. ඒ හේතුවෙන් එම ආධාර මුදල අපතේ යන තත්ත්වයකට පත් වෙමින් තිබෙන බවද වාර්ථා වේ.

කෙසේ නමුත්, එංගලන්තයේ කොරෝනා නව ප්‍රභේද සෙවීමට පෙර, ලංකාව තුල දැනටමත් නව ප්‍රභේද තිබෙනවාද යන්න පිළිබදව පවා තහවුරු කිරීම සදහා, වෛරස වැඩිදුර අධ්‍යනය අත්‍යාවශ්‍ය වේ. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාශය සතුව එකම එක යන්ත්‍රයක් පවා නොමැති වීම බරපතල නොසලකා හැරීමකි.

රවී කුමුදේශ්, සභාපති, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය