පුද්ගලික අංශයේ සේවකයින්ට පරිපූරක උත්සව ණය ගන්න විදියක් නෑ

පුද්ගලික අංශයේ සේවකයින්ට පරිපූරක උත්සව ණය ගන්න විදියක් නෑ

පුද්ගලික ආයතන වල සේවය කරණ සේවකයින්ගේ බහුතරයක් ගිණුම් හා සේවකයින්ගේ වැටුප් බැර කෙරෙන්නේ එම බැංකුවල නිසාත්, උත්සව ණය පහසුකම් ලබාදීම රාජ්‍ය බැංකු වලට පමණක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම නිසා පුද්ගලික අංශයේ සේවකයින්ට මෙම පරිපූරක උත්සව ණය පහසුකම් ලබා ගැනීමට බහුතරයකට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය කියා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රට තුල පැන නැගී ඇති කොඩිඩ් 19 වසංගතයේ බලපැම නිසා අපහසුතාවයට පත්ව ඇති රාජ්‍ය හා පුද්ගලික අංශය ඇතුළු විවිධ ශමිකයින් හට ළඟ එන උත්සව සමය සඳහා උත්සව ණය පහසුකමක් ලබා දිමට අතිගරු ජනාධිපතිතුමන් ගෙන ඇති තීරණය අගය කොට සළකන්නෙමු.

කෙසේ වෙතත් පුද්ගලික ආයතන වල සේවය කරණ සේවකයින්ගේ බහුතරයක් ගිණුම් පවතින්නේ පුද්ගලික බැංකු වල නිසාත්, එම සේවකයින් ගේ වැටුප් බැර කෙරෙන්නේ එම බැංකුවල නිසාත්, මෙම උත්සව ණය පහසුකම් ලබා දීම රාජ්‍ය බැංකු වලට පමණක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම නිසා පුද්ගලික අංශයේ සේවකයින්ට මෙම උත්සව ණය පහසුකම් ලබා ගැනීමට බහුතරයකට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

එබැවින් මෙම උත්සව ණය පහසුකම් පුද්ගලික අංශයේ සේවකයින්ට ලබා ගැනීමට හැකි වන පරිදි පුද්ගලික බැකු මගින් ද උත්සව ණය පහසුකම් ලබා දීමට විධි විධාන යොදන මෙන් පුද්ගලික අංශය නියෝජනය කරණ වෘත්තීය සමිතියක් ලෙස අප සංගමය ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

තවද රාජ්‍ය අංශයේ බැංකු දෙකක් වන ජා ඇල පිහිටි ලංකා බැංකුව සහ මහජන බැංකුව ශාඛා එම ප්‍රදේශයේ ඒකල පිහිටි එස්කුවෙල් ශ්‍රී ලංකා ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කරණ මහජන බැංකු ශාඛාවේ ගිණුම් හිමි සේවකයින් ණය පහසුකම් ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුන් පදිංචි ප්‍රදේශයන් හි මහජන බැංක ශාඛා වලින් ඉල්ලන ලෙස දන්වා ඇති බව අප සංගමයට වාර්තා කර ඇත.

එලෙසම ජාඇල ලංකා බැංකු ශාඛාවේ ගිණුම් හිමි එස්කුවෙල් ශ්‍රී ලංකා ආයතනයේ සේවය කරණ සේවකයින්ට ද පවසා ඇත්තේ ගිණුම් හිමියන්ට ණය ලබා දීමට නොහැකි බවත්, එම ණය මුදල සමාගමටලබා දීමට හැකි බවත්, සමාගම විසින් සේවකයින්ට ණය මුදල් ලබා දී එම සේවකයින්ගෙන් ණය මුදල් අය කර ලබා දෙන බවට සමාගමෙන් සහතියක් ඉල්ලා ඇති බව අපට වාර්ථා කර ඇත. මෙම සමාගම එම ණය මුදල්වල වගකීම භාර ගැනීම ප්‍රතික්‍ෂෙප කර ඇති බැවින් එහි සේවකයින්ට මෙම ණය මුදල් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

කවද නිට්ටඹුවේ පිහිටි සුමිත්‍රා හසලක ප්‍රයිවට් ලිමිටඩ් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවකයින් ද ණය පහසුකම් ලබා ගැනීම සඳහා සමාගමේ කළමණාකාරිත්වයට අයදුමුපත් ලබා දි ඇති අතර එම ප්‍රදේශයේ පිහිටි ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත අදාල අයදුම් පත් සමාගමේ කළමණාකාරිත්වය විසින් ඉදිරිපත් කර ඇත. එහි කළමණාකරුවන් ද දන්වා ඇත්තේ එම සේවකයින්ගේ ණය මුදල් පියවිම පිළිබඳව සමාගම සහතික වෙන්නේ නම් පමණක් ණය පහසුකම් ලබා දීමට හැකි බවය.

මෙහිදි පෙන්වා දිය යුතුව ඇත්තේ ඉහත කී සමාගම් සියල්ලේම සේවයින්ගේ වැටුප අදාල බැංකු ශාඛා ගිණුම් වලට බැර කරණ බැවින් එම ණය මුදල් පියවා ගැනීමට එම බැකුවලට හැකියාව ඇති බවය. එසේ හැකියාව තිබියදීත් එම ණය මුදල් පියවා ගැනීමට සහතික ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැක.

මෙම හේතුව නිසා පුද්ගලික අංශයේ සේවකයින්ට උත්සව ණය පහසුකම අහිමි කිරීම අසාධාරණ මෙන්ම ඔවුන්ට කරණ වෙනස් කම් දැක්වීමක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

එබැවින් මේ ගැන සොයා බලා එම සේවක සේවිකාවන් හට එම ණය මුදල් ලබා ගැනීමට පහසුකම් සළසන ලෙස මහජන බැංකුවේ ජාතික ඉතිරි කිරීමේ බැකුව සහ ලංකා බැංකුවේ ශඛා කළමණාකාර මහතුන්ට උපදෙස් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.