පෞද්ගලික අංශයට 60 දක්වා රස්සාව දෙන්න නීති හදන්න කමිටුවක්

පෞද්ගලික අංශයට 60 දක්වා රස්සාව දෙන්න නීති හදන්න කමිටුවක්
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.
 
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
 
ඒ අනුව සතියක් ඇතුළත හාම්පුතුන්ගේ සංගමය හා වෘත්තීය සමිති නායකයින් එකතුව එම කාරණය පිළිබඳ යම් විසඳීමකට පැමිණිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
 
ජාතික කම්කරු උපදේශන සභාව ඉදිරියේ දී විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ තමා සාකච්ඡාවට ගත් බවත්, එහිදී වෘත්තීය සමිති නායකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට එකඟත්වය පළ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
එසේ වුවත් යම් සේවකයෙකුට අවුරුදු 55න් විශ්‍රාම යෑමට අවශ්‍ය නම්, ඔහුට ඒ සඳහා ඉඩකඩ සලසා දියයුතු බවත්, එහිදී අර්ථසාධක මුදල් ලබා ගැනීමේ අයිතිය ලබා දිය යුතු වන අතර, අවුරුදු 60න් පසුව විශ්‍රාම ගැනීමේ දී අර්ථසාධක මුදල් ලබා ගැනීම පිළිබඳ විරුද්ධත්වයක් නොමැති බවත් ඔවුන් පැවසු බව අමාත්‍යවරයා කියාසිටියේය.
 
හාම්පුතුන්ගේ සංගමය මේ පිළිබඳ ප්‍රකාශ කර සිටියේ, ප්‍රතිපත්තියක් ලෙස මෙයට විරුද්ධත්වයක් නොමැති වුවත් නීතියකින් එවැනි බලකිරීමක් කළහොත් ගැටලු රැසක් ඇති වේ යයි සැක පළ කළ බව අමාත්‍යවරයා කියා සිටියේය.
 

එවැනි තත්ත්වයක් තුළ ඵලදායිතාවය පිළිබඳ ගැටලු රැසක් ඇති වෙන බව ඔවුන් සඳහන් කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා, අසනීප තත්ත්වයේ පසුවෙන පුද්ගලයින් අවුරුදු 60ක් දක්වා තබා ගන්නා ලෙස බලනොකරන ලෙස ද ඔවුන් පැවසු බව වැඩිදුරටත් සඳහන් කළේය.