ෆේස්බුක් පැමිණිල්ල නොඅසා නඩු පවරන අධ්‍යාපන බලධාරීන්ට දැඩි විරෝධය

ෆේස්බුක් පැමිණිල්ල නොඅසා නඩු පවරන අධ්‍යාපන බලධාරීන්ට දැඩි විරෝධය

සමාජ මාධ්‍ය ඔස්සේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ ගුරුමාතාවකට එරෙහිව අධ්‍යාපන බලධාරීන් විනය ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක දැඩි විරෝධය හා අප්‍රසාදය පල වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමු කරමින් ලංකා ගුරු සංගමය පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ ගුරුවරියගෙන් නිදහසට කරුණු විමසා ලිපියක් යොමු කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

ලංකා ගුරු සංගමය පවසන පරිදි බප/ජය/බුවනෙකබා විද්‍යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරිණියක වන ඩබ්. ජී. ආර්. සුභාෂිණී චූලරත්න වෙත 2020 දෙසැම්බර් 02 දින ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ නිර්මලා කේ. ඒකනායකගේ අත්සනින් ලිපියක් යොමු කර තිබේ.

‘ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලය, එහි රාජකාරි කටයුතු හා කාර්යාල නිලධාරීන් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍යජාලා හරහා විවේචනය කිරීම’ මැයෙන් නිකුත් කර ඇති එම ලිපිය යටතේ අධ්‍යක්ෂ වරිය සදහන් කර ඇත්තේ ‘ඔබ විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කලාප කාර්යාලය, එහි රාජකාරි කටයුතු හා නිලධාරීන් විවේචනය කරමින් ප්‍රසිද්ධියේ තම අදහස් කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කර ඇත’ යනුවෙනි.

NirmalaKEkanayake

එම ලිපියේ යටතේ අධ්‍යක්ෂවරිය අදාළ ගුරුතුමියට දන්වා ඇත්තේ ආයතන සංග්‍රහයේ විධි විධානවලට අනුකූල නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු නොකිරීමට හේතු ඇත්නම් මෙම ලිපිය ලැබී දින 14 ක් ඇතුළත තමා වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

staමේ ආකාරයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ ගුරුවරියට ඉහත ආකාරයෙන් නිදහසට කරුණු විමසා ලිපියක් යොමු කිරීම නීත්‍යානුකූල නොවන බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ නිර්මලා කේ ඒකනායකගෙන් ඉල්ලා ඇත්තේ එම ලිපිය ඉවත් කර ගැනීම කටයුතු කරන ලෙසයි.

"එසේම එවැනි ලිපියක් ගුරුවරියකට නිකුත් කිරීම සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධයට හා අප්‍රසාදය ඔබතුමිය වෙත පළකර සිටිමු. ඔබතුමිය විසින් කළ යුතුව තිබුණේ ඇගේ ගැටලුව විසඳීම මිස දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ ගුරුවරියට විනය ක්‍රියාමාර්ග ගැනීම නොවන බව ද පෙන්වා දෙමු," යි ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

රාජකාරියේ යෙදී සිටියදී තමන්ට මුහුණපෑමට සිදු වූ තත්වයක් සම්බන්ධයෙන් තම දුක්ගැනවිල්ල මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියක වූ සමන්ති පැලකැටියට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව ලංකා ගුරු සංගමයේ ද මැදිහත්වීමෙන් 2012 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ ආකාරය පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් 2018 ජනවාරි 28 දින එම පෙත්සම සම්බන්ධයෙන් ලබාදෙන ලද තීරණය මගින් රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කර ඇති බවයි.

ගුරු සංගම් නායකයා තව දුරටත් පෙන්වා දෙන පරිදි සුභාෂීණ චූලරත්න ගුරුතුමිය ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයට ඇගේ රාජකාරි කටයුත්තක් සඳහා 2020.11.11 දින පැමිණ භාරදුන් ලිපිගොනුව 2020.11.25 දින නැවත ගොස් සොයබැලූ අවස්ථාවේදී ගේට්ටුව අසල බිල්ඩිමේ මේසය මතම තිබූ බව ඇය තම ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂවරිය සමාජ මාධ්‍ය ඔස්සේද දැනුවත් කරමිනි.

dfae

ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලය ගුරුවරුන්ට ඇතුළු වීමට නොහැකි ලෙස වසාගෙන සිටින බව පෙන්වා දෙන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ, දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළුව අනෙකුත් රජයේ ආයතන නිරෝධායන පිළිවෙත් අනුව අවශ්‍ය පුද්ගලයන්ට ඇතුළු වී තම කටයුතු කරගෙන යාමට අවකාශ සලසා තිබියදී ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලය ඇතුළු කලාප අධ්‍යාපන කාර්යාල ගණනාවක් මේ ආකාරයෙන් කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයක් බවයි.

"කෝවිඩ් 19 වසංගත තත්වයට පෙරත් ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ පවතින අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අප ද අවස්ථා කිහිපයකදී ඔබතුමිය දැනුවත් කර ඇත."

ගුරුවරුන්ගේ රාජකාරි ගැටලු කඩිනමින් විසඳා කලාප අධ්‍යාපන කාර්යාලය ගුරුවරුන්ට ප්‍රියජනක ස්ථානයක් බවට පත් කිරීම වෙනුවට මේ ආකාරයෙන් ගුරුවරු පීඩාවට පත් කරමින් ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම වහා නතර කරන ලෙසත්, සුභාෂිණී චූලරත්න ගුරු තුමියට නිකුත් කර ඇති ඉහත ලිපිය ඉවත් කර ගැනීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ නිර්මලා කේ. ඒකනායකගෙන් ඉල්ලා සිටී.

එසේ නොවන්නේ නම් ඉහත සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පදනම් කරගෙන ලංකා ගුරු සංගමය ඩබ්.ජී.ආර්. සුභාෂිණී චූලරත්න ගුරුතුමිය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට කටයුතු යොදන බවටත් ලංකා ගුරු සංගමය ඇයට අනතුරු අගවා තිබේ.

(ද ලීඩර්)