සංචාරකයින් සමග තුන්වන කොරොනා රැල්ලකට අතවනයි

සංචාරකයින් සමග තුන්වන කොරොනා රැල්ලකට අතවනයි

PCR පරීක්ෂණ පෞද්ගලික අංශයට පවරමින්, වරලත් නිරෝධායන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම මගින්, සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය තුන්වෙනි කොරෝනා රැල්ලකට අත වැනීමකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය ගෙන ඇති තීන්දුවට අනුව සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී, ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශයේ රසායනාගාර වෙත පවරා තිබීම මගින් දෙවන කොරෝනා වැල ඇති වීමට හේතු වූ උගත් පාඩම සෞඛ්‍ය අමාත්‍යාංශය නොසලකා හැර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර පැවැතියේ දී, පරීක්ෂණ සිදුකිරීමේ සහ නීරෝධායන කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශයට පැවරීම මගින්, දෙවන කෝනාර රැල්ල ඇති වීමට ප්‍රධාන හේතුවක් වූ බව මේ වන විට හෙළිදරව් වී ඇත.

එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාව තුළ PCR ධාරිතාව පිළිබදව නිසි අවධානයක් නොදක්වමින්, පෞද්ගලික අංශය මත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර කෙරෙහි අනවශ්‍ය විශ්වාසයක් තැබීම මගින්, සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණ ගැනීමේ ආයතනයකට වඩා කපු මහතෙකුගේ තත්ත්වයට පරිවර්තනය වී තිබීම අතිශය කණගාටුදායකය.

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් තිදෙනකුට මේ වන විට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව පෞද්ගලික අංශයේ රසායනාගාරයක් මගින් තහවුරු කර ඇති බව මේ වන විට වාර්ථා වී තිබෙන අතර, එය නව කොරෝනා ප්‍රභේදයට අදාල ද නැද්ද යන්න තහවුරු කර ගැනීමට පවා සෞඛ්‍ය අමාත්‍යාංශයට පහසුකම් නැත. අදාල ආසාධිතයින්ගේ නිදර්ශක පෞද්ගලික රසායනාගාරයෙන් ඉල්ලා ගනිමින්, නැවත විශ්ව විද්‍යාලයක් වෙත යවමින් පරීක්ෂණ සම්බන්ධීකරණය පමණක් සිදු කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වීම අතිශය කනගාටුදායකය.

රජයේ රසායනාගර තුල පගසුකම් පැවතියදී, PCR පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත පැවරීම සහ තෝරාගත් හෝටල් කිහිපයකට ආදායම් ලැබෙන පරිදි මෙම ක්‍රියාවලිය දීර්ඝ ව පවත්වා ගනිමින් සිටීම මගින් සංචාරක ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා ගැනීම කෙසේ වෙතත්, කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් එය කිසිසේත්ම යහපත් යහපත් තිරණයක් නොවේ. එම තීරණය මඟින් කෙතරම් වාසියක් රටේ ආර්ථිකයට සහ සංචාරක ව්‍යාපාරයට සිදුවන්නේ ද යන්න නැවත විමර්ශනය කළ යුතුව ඇති අතර, සංචාරකයන් ගෙන්වා ගැනීම මගින් රට මුහුණ දෙන අවදානමට සාපේක්ෂව ආර්ථිකමය වශයෙන් අප ප්‍රතිලාභයක් ලබන්නේ ද යන්න පිළිබඳව බරපතළ සැකයක් පවති.

අප තුන්වන කොලෝනා රැල්ලට අතවනන්නෙ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඇති කරගත් පුහු විශ්වාසයක් මත ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂාවෙන් සිටිය යුතුය.

එසේම මේ වන විට විදෙස් ශ්‍රමිකයන් රැසක් රටට ඇතුල් වීමට නොහැකිව, ඒ සඳහා අවස්ථා උදා වන තුරු බලා සිටිය දී, ඊට ඇති ඉඩකඩ සීමා කරමින් සංචාරකයන් සඳහා අවස්ථාව ලබා දීම පිළිබදව රජය තවදුරටත් කල්පනා කළ යුතුය. රජය විසින් රටට ඇතුල් කරගැනීමට බලාපොරොත්තු වෙන ආගමනිකයන් සංචාරකයන්ද, එසේත් නොමැතිනම් විදෙස් ශ්‍රමිකයන් ද යන්න කොරෝනා ව්‍යාප්තියට අදාළ නොවන බව අප සිහි තබා ගත යුතුය. එබැවින් ඕනෑම ආගනිකයෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීම සහ සමස්ථ නිරෝධායන ක්‍රියාවලිය, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කළ හැකි සහ සෘජු අධීක්ෂණයට ලක් කළ හැකි ක්‍රියාවලියක් බවට පත්විය යුතුය. එහිදී පැමිණෙන පුද්ගලයාගේ ආර්ථිකය හෝ අරමුණට අනුව නිරෝධායන ක්‍රියාවලිය හෝ පරීක්ෂණ ක්‍රියාවලිය වරලත් සහ වර නොලත් ක්‍රමවේද අනුව වෙන් කර ගැනීම මගින් වසංගතය පැතිරීමට විශාල ඉඩ කඩක් විවර වේ.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ තීරණ ගන්නා ඇතැම් නිලධාරීන් සහ විශේෂඥයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමාණය කුඩා කරමින් පෞද්ගලික අංශයට විශාල බවක් මවා පෑමට උත්සාහ කරනු ලැබුවද මේ වන විට එක් වෛරස වේදියෙකු හෝ නොමැති පෞද්ගලික අංශය පිළිබඳව විශාල මවාපෑමක් හා බලාපොරොත්තුවක් තැබීම කෙතරම් සාධාරණ ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු වූ ප්‍රතිපත්ති තීරකයන් විමර්ශනාත්මක ව සලකා බැලිය යුතුය.

අපට පෙනෙන්නට තිබෙන තත්වයට අනුව ප්‍රතිපත්ති තීරණය කරන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සෘජුවම පෞද්ගලික අංශයට අදාළව තාවකාලික සේවකයන් ලෙස කටයුතු කරන නිසාත්, ඇතැම් නිලධාරීන් සමහර සමාගම් මාසිකව කටයුතු කරන නිසාත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කළ යුතු ක්‍රියාවලිය වෙනත් අංශයන් වෙත පවරා එහි වගකීම පැහැර හරින තත්වයකට පත්කර තිබේ.

මෙම සියළු තත්ත්වයන් සැලකිල්ලට ගෙන 2021 වර්ෂයේ දී හෝ නිරෝධායන ක්‍රියාවලිය සහ පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කරන තත්ත්වයකට පත් කිරීම, රජයට සහ සතරවරම් සෞඛ්‍ය අමාත්‍ය වරුන්ට පැවරෙන වගකීමකි.

තවද, කොරෝනා පවුලේ වෛරස නව ප්‍රභේද ඇතිකිරීම සාමාන්‍ය තත්වයක්ව පැවතියදී, මෙතෙක් රජයේ කිසිදු රසායනාගාරයක ජන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රක් නොමැති වීම පිළිබදවද ඔවුනගේ බරපතළ අවධානය යොමු විය යුතුය.

ජාන විශ්ලේෂණ අනුක්‍රමික යන්ත්‍ර මිලදී ගැනීම සඳහා පසුගිය මාස අට තුළ අවස්ථා තුනකදී ගත් උත්සාහයන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ම ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් අහෝසි වන තත්ත්වයකට පත් විය. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ යුනිසෙෆ් ආයතනය වැනි ආයතන ගණනාවක් මැදිහත්ව ප්‍රසම්පාදන කටයුතු පවා අවසාන කරන ලද ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ දී නවතා දැමීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි විමර්ශනයක් කළ යුතුව ඇත.

එම තීරණ ගත් නිලධාරීන්ගේ වරද වසා ගැනීම සඳහා සහ තවදුරටත් මෙම වගකීම වෙනත් අංශ වෙත පැවරීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් එම යන්ත්‍ර මිලදී නො ගනිමින් ඒ සඳහා අවිධිමත් ක්‍රමවේද භාවිතා කිරීමේ විද්‍යාත්මක පදනමක් සාදා ගැනීමට ඇතැම් පාර්ශව තවදුරටත් උත්සාහ කරමින් සිටි.

ඒ අනුව නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා විවිධ අවිධිමත් ක්‍රමවේද පෙන්වා දෙමින්, නව ප්‍රභේද PCR පරීක්ෂණ මගින් සිදු කිරීමට ඇතැම් පාර්ශවයන් යෝජනා සම්මත කරමින් සිටින බවද අපට වාර්ථා වේ.

ඒ අනූව, සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර සදහා "ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රය" මිලදී ගැනීම අධෛර්යයට පත් කරමින් සිටීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බව පැහැදිලිවම වටහා ගත යුතුය. එමඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණ අනවශ්‍ය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිබාහිර ආයතන මත පදනම්ව සිදු කිරීමට සිදුවන අතරම, වගකීම ඉෂ්ට කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති හැකියාව දුර්වල තත්ත්වයකට පත්වෙයි.

එනයින් අවිධිමත් ක්‍රමවේද වෙනුවට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රසායනාගාරයට සහ මුල්ලේරියාව හෝ වෛද්‍ය පර්යේෂණ ආයතන රසායනාගාරයට අදාල ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් වහා ලබා දීම සහ අවම තරමින් විවිධ රටවල හෝ ප්‍රාන්ත වල සිට පැමිණෙන පළමු කණ්ඩායම හෝ, කොරෝනා ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂාවට ලක් කිරීම, මේ මොහොතේ ගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ගයකි.

එසේ නොවන තත්ත්වයක් යටතේ, සංචාරක ව්‍යාපාරය හෝ පෞද්ගලික ව්‍යාපාර හේතුවෙන් රට තුන්වෙනි කොරොනා රැල්ලට 2021 වර්ෂයේදී නතු වීම වළක්වා ගැනීමට නොහැකි වන බව අප සිහි තබා ගත යුතුය. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ7 ක්‍රියාවලිය, වඩා සාමූහික, වඩා ප්‍රායෝගික සහ වඩා ක්‍රියාකාරී එකක් බවට පරිවර්තනය විය යුතුය.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය