කොරෝනාව වැඩ නොකිරීමට හේතුවක් කරගන්න එපා

කොරෝනාව වැඩ නොකිරීමට හේතුවක් කරගන්න එපා

කොරෝනා වසංගතය ස්වභාව ධර්මයා අපට එල්ල කළ ප්‍රහාරයක්. එය අපට ජීවිතයේ අනිත්‍යය සහ ධනය හා බලය තුළ ඇති නොවටිනාකම ලෝකයට කියා දුන් ඓතිහාසික පාඩමක්. .සාමාන්‍යයෙන් වසංගතයක් අවස්ථාවකදී ඊට ගොදුරු වන්නේ, බෝ වන්නේ බොහෝවිට සමාජයේ දිළිදු පන්තියේ එසේ නැතිනම් ආන්තික ජන කොටස්වලට. නමුත් ලෝකයේ ධනකුවේරයන්, රාජ්‍ය නායකයන්, සුප්‍රකට පුද්ගලයන් පවා කොරෝනා වසංගතයට ගොදුරු වී දිවි අහිමි වුණ. ජීවිතයේ යථාර්ථය පිළිබඳ නැවත සිතා බලන්න කොරෝනා වසංගතය අපට අවස්ථාවක් ලබා දුන්නා. ඒ නිසා කොරෝනාවට බයෙන් කාර්යාවල හෝ ගෙවල්වල සැඟවී සිට අපිට මේ අභියෝගය ජය ගන්න බැහැ. කොරෝනා වසංගතය ජයගන්න අපි කළ යුත්තේ වැඩ කිරීමයි. කොරොනාව ඔබේ ජීවිතයේ වැඩ නොකර ඉන්න හේතුවක් කරගන්න එපා. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කම්කරු අමාත්‍යාංශයේ පැවති නව වසරේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයේ දී ය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය වසර වල ශ්‍රී ලංකාව සහ සමස්ත ලෝකයම ලෝකය ම සුවිශේෂ අර්බුදයකට මුහුණ දුන් බවයි. සමහර රටවල් එය ජයගත් අතර, තවත් සමහර රටවල් එය අර්ධයක් ජයගත්තද අපේ රට තවමත් එය ජය ගත්තා ද නැද්ද යන්න තීරණය කිරීමට කාලය එළඹ නැත. මේ කොරෝනා වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවල් වලට ආර්ථික, සමාජීය හා මානසික අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වුණා. සල්ලි සහ බලය තුළින් මේ වසංගතයෙන් කිසිවෙකුට බේරෙන්න බැරි වුණා. ඒසේම කොරෝනා වසංගතය අපේ සමාජය තිබුණු බොහෝ චර්යාවන් වෙනස් කරගන්න අපිට බලපෑවා.

සාමාන්‍යයෙන් අපි ඉතාමත්ම සමාජශීලී එකිනෙකාට සමීපව ජීවත් වෙන්න කැමති ජන කොට්ඨාශයක් කොට්ඨාසයක්. නමුත් මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථ බව පවත්වා ගැනීම වැනි කාරණාවලට අපිට යට වෙන්න සිදු වුණා. අපිට හුරු පුරුදු මේ රටාවන් සියල්ල සෞඛ්‍ය අංශ දෙන ලද සෞඛ්‍යාරක්ෂක නියාමයන් මත අපිට නෙස් කර ගන්න වුණා.අද මේ රටේ කොතනක හෝ සේවය කරන හැම කෙනාගෙම සේවය රටට අත්‍යවශ්‍යම අවස්ථාවක්. රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා හැම දෙනාගෙම කැපවීම අත්‍යවශ්‍යයි. එම නිසා කොරෝනාවට බයෙන් කාර්යාලවල හෝ නිවෙස් වල සැඟවී අපිට මේ රට හෝ මේ කොරෝනා වසංගතය ජය ගන්න බැහැ. සෞඛ්‍ය අංශ පෙන්වා සෞඛ්‍යා රක්ෂිත ක්‍රමවලට අනුගතවෙමින්, අපි අපේ සේවය උපරිමයෙන් ලබා දෙමින්, මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපි උපරිමයෙන් කටයුතු කළ යුතුයි.

විශේෂයෙන් මේ රටේ වැඩකරන ජනතාවගේ අමාත්‍යංශය වන කම්කරු අමාත්‍යාංශය මේ අවස්ථාවේදී ඉටු කළ යුතු වැඩ කොටස උපරිමයෙන් හා ශක්තිමත් ව ඉටු කිරීමටත්, ඒ තුළින් වැඩකරන ජනතාවට, හාම්පුතුන්ට හා රජයටත් උපරිම සේවයක් ලබාදීම අපට පැවරී ඇති විශේෂ වගකීමක්. විශේෂයෙන් කම්කරු සුබසාධනයට අවශ්‍ය වැඩ කටයුතු කරන ගමන් වතු වතුකම්කරුවන්ට රුපියල් දහසේ වැටුප ලබා දීමට කටයුතු කිරීමත්, එසේම කොරෝනා තත්ත්වය දඩමීමා කර ගනිමින් වැඩ කරන ජනතාව එම වැඩ බිම් වලින් ඉවත් කිරීමට ගන්නා අවස්ථාවන් වළක්වමින්, අර්ථසාධක අරමුදල දායක මුදල් නියමිත පරිදි එකතු කරගෙන මහා භාණ්ඩාගාරයට ලබා දීමෙන් අපට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්කම තිබෙනවා .අද නව වසරේ රාජකාරි ආරම්භ කරන ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාර්යභාරය ඉටු කරන්න සියලු දෙනාම එකාවන්ව කටයුතු කරන ලෙසයි .

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා ද අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල නිලධාරීන් ද අමාත්‍යතුමන්ගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීහු ද එක් වූහ.