අපි ලබන වැටුප ඇතුළු සියලු වරප්‍රසාද ලබන්නේ අහිංසක ජනතාවගේ බදු මුදලෙන්

අපි ලබන වැටුප ඇතුළු සියලු වරප්‍රසාද ලබන්නේ අහිංසක ජනතාවගේ බදු මුදලෙන්

අපේ හෘදසාක්ෂියට එකඟව අප ලබන වැටුප අපි ලබන්නේ මේ රටේ අහිංසක මිනිසුන්ට ගහන බදු වලින් මේ හැම සතයක්ම මේ රටේ අහිංසක මිනිසුන්ට බදු ගහල හම්බු කරන සල්ලි වලින් තමයි අපි මේ හැම වියදමක්ම කරන්නේ. ඒක නිසා සහකම්පනය තියෙන අපි ඒ මිනිසුන්ගේ සල්ලි වලින් නොමිලේ ඉගෙන ගෙන, ඒ මිනිසුන්ගේ සල්ලි වලින් බදු වලින් පඩි අරගෙන අපි කටයුතු කරන කොට අපි ඉතාම අවංකව අපේ සේවය අපි පුළුවන් උපරිමයෙන් මේ රටේ මිනිසුන්ට දෙන්න ඕන.

අමාත්‍යංශයේ වැඩ කරන සුළු සෞඛ්‍ය සේවා කාර්ය සහයකයගේ ඉදලා අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා දක්වාම මේ රට හරි තැනකට ගෙනියන්න මේ රටේ නිරෝගිමත් ජනතාවක් බිහි කරන්න මේ ලබා දෙන්නා වු සහයෝගය මාගේ හෘදයාංගම ගෞරවය පුදකරමින් අපේ ආගමේ හැටියට තුණුරුවන්ගේ පිහිට දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මේ බව පල කලේ ඊයේ පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ 2021 වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති විශේෂ උත්සව අවස්ථාවේදීය.

සර්ව ආගමික ආශිර්වාද ලබාගැනීමෙන් සහ ජාතික ධජය එසවීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදුකරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන , සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගී විය.