වෛද්‍ය පරිපාලනය සහ රාජ්‍ය පරිපාලන සේවය අසමත්ද?

වෛද්‍ය පරිපාලනය සහ රාජ්‍ය පරිපාලන සේවය අසමත්ද?

කෝවිඩ් පාලනය සහ නිරෝධායන කටයුතු පරිපාලනය කිරීම සඳහා ජනවාරි පළවෙනිදා සිට මට්ටමට දිස්ත්‍රික් මට්ටමින්, යුද හමුදාවේ ජෞෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත් කිරීමට රජය පියවර ගෙන ඇත.

කොවිඩ් පාලනය සඳහා සෞඛ්‍ය සේවාවට, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහයෝගය සේවාව අත්‍යාවශ්‍ය බව අවිවාදිතය. එසේම ඒ වෙනුවෙන් ඔවුන් මෙතෙක් කල කැපවීම උත්කෘෂ්ටය. නමුත් සෞඛ්‍ය පරිපාලනය හෝ රාජ්‍ය පරිපාලනය සඳහා එවන් අවශ්‍යතාවයක් මතු වන්නේ කෙසේද යන්න අප තවදුරටත් ඉතා සියුම්ව විමසා බැලිය යුතුයමය.

විශේෂයෙන්ම සෞඛ්‍යය පරිපාලනය සදහා "පරිපාලන විශේෂඥයින්" බවට පත්ව ඇති වෛද්‍ය උපාදිධාරීන් කොටසක් පවා සිටියදී, ඔවුන් ඊට අසමත් වී ඇති බවක් ඉන් කිය වෙන්නේද?

සෞඛ්‍ය සේවාවේ දිස්ත්‍රික් මට්ටමට ලැබෙන පරිපාලන නායකත්වය සැලකිල්ලට ගැනීමේදී පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු නවදෙනෙක්, නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු නවදෙනෙක්, දිස්ත්‍රික් පළාත් අධ්‍යක්ෂකවරු 25 දෙනෙක්, ඔවුන් සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂක වරු 25 දෙනෙක්, ප්‍රජා වෛද්‍ය පරිපාලකයින් 324 දෙනෙක්, ඔවුන් සඳහා නියෝජ්‍ය ප්‍රජා වෛද්‍යවරුන් 324 දෙනෙකු, වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු 25 දෙනෙක් සහ ඔවුන් සදහා නියොජ්‍ය වසංගත ප්‍රධානීන්, වෛද්‍ය පරිපාලකයින් විශාල ප්‍රමාණයක් සිටී.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ලේකම්වරයා වශයෙන් වෛද්‍ය, හමුදා ප්‍රධානියකු සමග 300ක පමණ වෛද්‍ය පරිපාලකයන් සිටියදී මෙම කර්තව්‍යයන් පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි නම්, එය වෛද්‍ය පරිපාලනයෙහි සලකා බැලිය යුතු දුර්වලකමක් නොවන්නේ ද ?

එසේම දිස්ත්‍රික් මට්ටමේ පරිපාලනය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ ග්‍රාම නිලධාරීවරුන් දක්වා සැලකිය යුතු පරිපාලන ක්‍රමයක් විහිදී තිබියදී, පරිපාලන අවශ්‍යතාවය සඳහා හමුදා නිලධාරීන් යෙදවීම මගින් අපට තහවුරු වන්නේ රටේ සිවිල් පරිපාළණය සහ වෛද්‍ය පරිපාලනයෙන් අපේක්ෂිත අරමුණු ඉටුවී නොමැති බවය. එසේ නොමැති නම් මේ මොහොතේ අපේක්ෂා කරන මට්ටමේ පරිපාලනයක් ඔවුන්ගෙන් මෙතෙක් ඉටු නොවීම වන්නටද පිළිවන.

කෙසේ නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන සේවාවට වගකියන වෘත්තීය සමිති සහ රාජ්‍ය පරිපාලන සේවාවට වග කියන වෘත්තිය සමිති අදහසක් ප්‍රකාශ නොකිරීම තවදුරටත් අපට ගැටළුවක් ඉතිරි කර ඇත.

️වියත් පරිපාලනය

"වියත් පරිපාලනය" යණු, රටේ මහ ජනතාව විසින් වර්තමාන රජයෙන් අපේක්ෂා කළ ප්‍රධාන බලාපොරොත්තුවක් ලෙස සැලකිය හැක. එය, පරිපාලනය මගින් දියුණු රටක් ගොඩනැංවීම පිලිබඳව විශ්වාසය තැබූ බොහෝදෙනාගේ මූලික පරමාර්ථයක් විය. කාර්යක්ෂම, සඵලදායී රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා වියත් පරිපාලනයකින් සිදු කර ගැනීම එම ජනතා අපේක්ෂාවේ පරමාර්තයයි. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ක්‍රමානුකූලව පරිපාලනයට අනියුක්ත කිරීම සිදු වන්නේ, එම අපේක්ෂාවන් මල්-ඵල ගැන්වීම සඳහා බව ඇතැමකුට පෙනෙන්නටද හැකිය.

නමුත්, පරිපාලනය යනු ඒ පිළිබදව මුලික හැදෑරීම් කල නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවයට අදාලව වගකීම් පැවරෙන සහ ඔවුණගේ වගවීම ක්‍රමානුකූලව හා විද්‍යාණුකූලව විමසා බැලෙන ක්‍රමවේදයකටය.

කෙසේ නමුත් මේ මොහොත, රාජ්‍ය පරිපාලනයට අදාලව රට තුළ අතිශය තීරණාත්මක පරිවර්තනයක සේයාවන් දක්නට ලැබෙන මොහොතකි. එබැවින් රාජ්‍ය හා සෞඛ්‍ය පරිපාලනයට ඒකාධිපති අදියුරුවමක් ලබා දී සිටින "වෛද්‍ය පරිපාලකයන්" සහ රාජ්‍ය පරිපාලනයට වගකියන පරිපාලන සේවාවේ කිව යුතු අය මේ පිළිබඳව සංවාද නොකර සිටීම බරපතළ තත්ත්වයකි.

️පරිපාලන සේවාවේ මළබෙරය වැයෙන කල, මුඛ අධෝමුඛ වසා වැල කෑ පබිලන් සේ සිටින SLAS

කෝවිඩ් වසංගත රාජකාරි සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රික්ක විසි පහට යුධ හමුදාවේ නිලධාරීන් විසි පහක් පත් කරන ලදැයි ප්‍රවෘත්තියක් පල විය. කවුදෝ කෙනෙක් මෙය පරිපාලන සේවයට තර්ජනයක් යැයි කිවූ බවක් අන්තර් ජාලයේ අහු මුල්ලක තිබුණි. පරිපාලන සේවා සංගමය මේවැනි සිදුවීම් ගැන කෙළ බිඳක් නොහෙලන්නේ කලෙක පටන්ය.

පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපති සිරිසේන සමග හරි හරියට වාඩි වී ඉහළ තනතුරු වලට පත්කිරීම් වලට බලපෑම් කළහ. පරිපාලන සේවය ප්‍රමුඛ සේවය ලෙස තමන්ම ලේබලයක් ගසා ගෙන අං තට්ටුව පැළඳ ගත්හ. රුපියල් පනස් දහසක දීමනාවක් ඉල්ලා කළු පටි බැන්දාහ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරි පිට උද්ඝෝෂන කළහ. තම වෘත්තීය ක්‍රියා මාර්ග වලට සම්බන්ධ වන ලෙස කනිෂ්ඨ නිලධාරීන්ට තර්ජනය කළහ. එම ක්‍රියාවන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සිටි අතිරේක ලේකම් මට්ටමේ නිලධාරීන් ඍජුවම සම්බන්ධ වූහ. වයස හැට පැන්න සියලු ලේකම් ලා විශ්‍රාම යැව්වේ ය. සියලු තනතුරු පරිපාලන සේවයට පමණක් සීමා විය.

️යහපාලන කාලේ පරිපාලන සේවය

යහපාලකයෝ කටයුතු කළේ නෝන්ජල් තාලයට ය. රාජ්‍ය පරිපාලන ඇමැති රන්ජිත් මද්දුම බණ්ඩාර සිටියේ වෙනම සිහින ලෝකයක ය. පාඨලී චම්පික ඇමැති ගේ අමාත්‍යංශය හැර අනෙකුත් සියලුම අමාත්‍යංශ ලේකම්වරු පරිපාලන සේවයේ නිලධාරීන් වූහ. සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද පරිපාලන සේවාවෙනි.

මංගල සමරවීර වැනි ඇමතිවරු කාන්තාවන් හොරකම් නොකරන්නේ යයි කියමින් රේගු සුරාබදු වැනි දෙපාර්තමේන්තුවලටත් පරිපාලන සේවයේ කාන්තා නිළධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස පත් කළහ. යහපාලනය ඇද වැටෙන්නට හේතු දහසකුත් එකක් තිබුණා වුවද, පරිපාලන සේවය ගැන තැබූ ඕනෑවට වැඩි විශ්වාසය ද හේතුවක් විය.

දෙපාර්තමේන්තුවට තමන්ම පත් කළ නිලධාරිනිය ඉවත් කරන්නට ගොස් පසුව මංගල පස්ස බිම ඇන ගත්තේය. ලේකම්ලා මසකට වරක් දෙකක් විදේශ සවාරි ගියහ. බහුතරයක් ඇමැතිවරු ලේකම්ලාට බියෙන් කටයුතු කළහ.

පරිපාලන සේවා සංගමයේ තනතුරු දැරීම අමාත්‍යංශ ලේකම් කමක් ලබා ගැනීමට කෙටි පාරක් ලෙස යොදා ගැනුනේ කලකට පෙර සිටය.

වී. කේ. නානායක්කාර, රනුග්ගේ වැනි උදවිය අමාත්‍යාංශ ලේකම් තනතුරු ගත්තේ පරිපාලන සේවා සංගමයේ සභාපති කම උගසට තබමිනි. එහෙත් පසු කාලීනව සංගමයේ තනතුරු වලට පත් වූ උදවිය පරණ කට්ටියට වඩා ස්මාර්ට් වුහ. ටෙලි නාට්‍ය වල උප දිසාපති තනතුරු වල රඟන නළුවන් දෙස බලා සේවයට බැඳුණු මන්ද බුද්ධික නිලධාරීන් පහසුවෙන් රවටා ගත් මොවුහු ප්‍රමුඛ සේවා අං තට්ටුව තම ගෝලයින්ට පළඳවා ඔවුන්ගේ කරේ නැග්ගාහ.

යහපාලන කාලයේ පරිපාලන සේවා සංගමයේ තනතුරු දැරූ උදවිය දැන් ඉන්නේ කොහේදැයි සොයා බැලීමෙන් සිදු වුයේ කුමක් දැයි කනිෂ්ඨ නිලධාරීන්ට තේරුම් ගත හැකි වනු ඇත. පවතින ආණ්ඩුවේ වාසනාවට හෝ අවාසනාවට ජනාධිපති හෝ ජනාධිපති ලේකම් ජයසුන්දර අන්දන්නට මේ ගොබිලන්ට නොහැකි විය. හේතුව ඒ දෙදෙනාම රජයේ සේවය ගැන එතරම් දැඩි විශ්වාසයක් නොතැබූ අය බැවිණි.

රේගු, සුරාබදු සිහින දුටු සංගම් ලොක්කෝ දැන් දෙන දෙයක් කා වෙන දෙයක් බලා ගෙන වැල කෑ පබිලන් සේ සිටිති

ඉරිදා අරුණ පත්තරයකට මහාචාර්ය රොහාන් සමරජීව අපුරු කතාවක් කියා තිබුණි. තොරතුරු තාක්ෂණ සේවයේ නිලධාරීන්ට නිසි සැලකිල්ලක් නොලැබීම ගැන කණස්සල්ල පල කරන මහාචාර්ය වරයා කියන්නේ රජයේ සේවයේ කුල ක්‍රමයක් ඇති බවයි. ඒ කුල ක්‍රමය තුල තාක්ෂණ සේවය ඇත්තේ ඉතා පහල ස්ථරයකයි. ප්‍රමුඛ සේවයේ උදවිය ඉහලින්ම ඉන්නේ තමන් යයි සිතාගෙන අනෙක් කුලවල උන්ට (අනෙක් සේවාව වල අයට) නැගිටින්නට ඉඩ නොදී පාගා දමති. සැළසුම් සේවය විටින් විට පරිපාලන සේවයට බිම් බෝම්බ පත්තු කළහ. වික්‍රම වීරසුරියගේ කාලයේ සැලසුම් සේවය නැගිට්ටේ එසේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක බස්නාහිර මහා ඇමැතිනි කාලයේ ඇයට කිට්ටු වූ සැලසුම් සේවයේ කිහිප දෙනෙක් පරිපාලන සේවාවට යම් පීඩනයක් එල්ල කළහ. යහපාලන කාලයේ පාස්කරලිංගම් හරහා මෙයම කරන්නට උත්සාහ කළ ද සාර්ථක නොවීය.

දැන් බැසිල් රාජපක්ෂ අල්ලාගෙන සැලසුම් සේවය කෙලින් හිට ගන්නට තැත් කරන බවක් ආරංචි වුවද එය සාර්ථක වන බවක් පෙනෙන්නට නැත. සියලුම සේවා එකක් බවට පත් කිරීම ගැනද විටින් විට අසන්නට ලැබේ.

️බ්‍රැඩ්මන් වීරකෝන් සහ අං තට්ටු කාරයෝ

පරිපාලන සේවය කලකට ඉහත කීර්තිමත් තැනක තිබුණි. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අගමැතිවරුන් කිහිප දෙනෙකුටම ලේකම් වුයේ ඔහු පටු දේශපාලන රාමුවකට කොටු නොවූ නිලධාරියෙකු වූ බැවිනි. බ්‍රැඩ්මන් ගේ චරිතාපදානයේ සඳහන් වන පරිදි වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩු මාරු වන අවස්ථාවක ඩඩ්ලි සේනානායකට යවන්නට ලිපියක් බ්‍රැඩ්මන් ලවා සකස් කර ගෙන ඇත. දින දෙක තුනකට පසු ඩඩ්ලි අගමැති වී බ්‍රැඩ්මන් ඔහුගේ ලේකම් වූ පසු ඩඩ්ලි සිරිමාවෝ එවූ ලිපිය බ්‍රැඩ්මන් අතට දී එයට පිළිතුරක් සකසන්නට කීය. තමා සකස් කළ ලිපියට තමන්ටම උත්තර හදන්නට බ්‍රැඩ්මන් ට සිදු වුයේ ඔහු පරිපාලකයෙකු පමණක්ම වූ හෙයිනි.

ඇමැතිවරුන් පසුපස ඔලුව කසමින් යන අං තට්ටු කාරයින්ට ආණ්ඩු මාරුවකට පසු කන්තෝරුවට වත් යන්නට නොලැබෙන්නේ රියැදුරන් පියන් ලා වැනි සුළු සේවකයින් පහර දෙන බැවිනි.

මේ ඊයේ පෙරේදා විශ්‍රාම ගිය ලේකම් කෙනෙක් සිය විශ්‍රාම යාමේ සතුට සමරන්නට මේ ආණ්ඩුවේ සහ ගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට සාදයක් දැමූ බවත් ඇමතිවරු එක්ව සින්දු කී බවත් පත්තරයක තිබුණි. එසේම එම ලේකම් ඇමතිට දන ගසා වැන්ද බවක්ද සඳහන් විය.

තවත් කාලයක ආධාරයක් ඉල්ලූ විටක සිය පුද්ගලික චෙක් පොතින් ලක්ෂයක හමාරක චෙක් එකක් ලියා දෙන ලොක්කෙක් පාස්පෝට් කන්තෝරුවේ සිටියේය. රියදුරු බලපත් මුද්‍රණය හමුදාවට දෙන්නට සිදු වුයේද එවැනි වංචා වළක්වන්නටය. කිහිප දෙනෙකුට එකතු වී දහස් ගණනක් ඉන්නා සේවාවකට ඉහඳ තියන්නට හැකි වී ඇත්තේ කාගේ වරදක් නිසාද?

වළ පල්ලට යන පරිපාලන සේවයේ ගමන ආපසු හරවන්නට හැක්කේ ද පරිපාලන සේවයේ උදවියටම පමණි. ඒ සඳහා ඇන්දවීමෙන් සහ රැවටීමෙන් මිදෙන්නට හැකි විය යුතුය. ටෙලි නාට්‍ය මානසිකත්වයෙන් සහ ප්‍රමුඛ සේවා අං තට්ටුවෙන් ගැලවිය යුතුය. වෙනත් ආණ්ඩුවකින් දැනටත් වඩා පරිපාලන සේවයේ තනතුරු වලට පිටස්තරයින් පත් කරනු ඇත. එසේ නොවීමට නම් පරිපාලන සේවයේ ඉන්නේ වෘත්තීය පරිපාලකයින් බව රටට පෙනී යා යුතුය.

රවී කුමුදේස්