සංචාරක කර්මාන්තයේ නිරතවන්නන්ට රක්ෂණාවරණයක්

සංචාරක කර්මාන්තයේ නිරතවන්නන්ට රක්ෂණාවරණයක්

සංචාරක ක්ෂේත්‍ර යේ නිරතවූවන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි තත්ත්වය ඉදිරියේ දි මුහුණ දිය හැකි පරිදි සංචාරක ක්ෂේත්‍ර යේ නිරතවූවන් ශක්තිමත් කිරීම අරමුණයි. ලෝක කම්කරු සංවිධානයේ සහයෙන් ඉදිරි මාස 06 ක කාලය තුළ මෙම රක්ෂණ වැඩසටහන හදුන්වාදීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඇමතිවරයා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය, ස්වභාවික ආපදා මගින් වැඩි වශයෙන් ම ලෝකයේ පීඩාවට පත්වන්නේ සංචාරක ව්‍යාපාරයේ නිරතවූවන් බවයි. එවැනි ආපදා හමුවේ සංචාරකයන් සිය සංචරණ සීමා කිරීම ඊට හේතුවයි.

නව සංචාරක ස්ථාන හදුනාගැනීම හා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ නව ආකර්ෂණීය සංචාරක ස්ථාන 506 ක් හදුනාගෙන ඇති බවත් පළාත් සභාව, වනජීවි හා කෘෂිකර්ම අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් යටතේ ඒවා ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා කීවේය.