පරස්පර ප්‍රකාශ මගින් අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් විරහිතභාවය මනාව පෙන්නුම් කරනවා

පරස්පර ප්‍රකාශ මගින් අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් විරහිතභාවය මනාව පෙන්නුම් කරනවා

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම කල්දැමීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් විරහිත භාවය මනාව ප‍්‍රදර්ශනය වන බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජය සැලසුම් විරහිතව කටයුතු කරන ආකාරය බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ දින ප‍්‍රකාශ කිරීමෙන් පැහැදිලි වේ. බස්නාහිර පළාත හා හුදකලා කළ ප‍්‍රදේශ හැර අනෙකුත් ප‍්‍රදේශවල පාසල් මේ වන විට ආරම්භ කර ඇති අතර, බස්නාහිර පළාතේ 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසල් ආරම්භ කර තිබුණි.

එසේ තිබියදී බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීම පෙබරවාරි 15 දින සිදුවන බව අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ දින ප‍්‍රකාශ කර තිබුණි. එහිදී ඔහු සඳහන් කළේ කොළඹ දිස්ති‍්‍රක්කයේ පාසල් 80 ක් පමණක් පෙබරවාරි 15 දින විවෘත කළ නොහැකි බවත්, සෙසු පාසල් නියමිත පරිදි පෙබරවාරි 15 දින ආරම්භ වන බවත්ය. එසේ තිබියදී අද දින (2021.02.10) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප‍්‍රකාශ කර සිටියේ බස්නාහිර පළාතේ පාසල් නැවත ආරම්භ කිරීම සිදු කරන්නේ මාර්ත 15 දින බවයි. මෙම ප‍්‍රකාශ මගින් පැහැදිලි වන්නේ පෙබරවාරි 15 දින පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ප‍්‍රකාශ සිදු කිරීමට පෙර පාසල් ඇරඹීමට අදාළ විධිමත් නිර්දේශ ලබාගෙන නොමැති බවයි. දිස්ති‍්‍රක කමිටුවල තීරණ මත පාසල් විවෘත වන්නේ නම් සිදු විය යුත්තේ එම තීරණ පළාත් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අනුමැතියෙන් රේඛීය අමාත්‍යාංශයේ ද අදාළ අංශ සමග සාකච්ඡුා කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන්ගේ ද අනුමැතිය ලබාගෙන පාසල් අරම්භ කිරීමට කටයුතු කිරීමයි. මෙසේ එක් දිනක් තුළ දින වෙනස් කිරීමෙන් පැහැදිලි වන්නේ එවැනි විධිමත් ක‍්‍රමවේදයකින් තොරව දින ප‍්‍රකාශ කර ඇති බවයි.

මෙවැනි පරස්පර ප‍්‍රකාශ මගින් දෙමව්පියන්, ගුරුවරු සහ අධ්‍යාපන පද්ධතියට අදාළ පිරිස් තුළ පාසල්වල කෝවිඞ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැකසංකා මතුවීම නොවැලැක්විය හැකිය. මෙය කෝවිඞ් ව්‍යාප්තිය පාලනයට අදාළව බරපතල තත්වයකි. පසුගිය දිනවල කොළඹ දේවි බාලිකා විදුහලට හා කොළඹ නාලන්ද විදුහලට නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර සිටියේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය ඇති බවයි. කොළඹ දිස්ති‍්‍රක්කයේ කෝවිඞ් ව්‍යාප්තිය බරපතල තත්වයක පැවැති උතුරු කොළඹ හා මැද කොළඹ අඩු පහසුකම් සහිත පාසල් නිරීක්ෂණය කළ යුතුව තිබූ අධ්‍යාපන ඇමතිවරයා පහසුකම් සහිත ප‍්‍රධාන පාසල් දෙකක් නිරීක්ෂණයෙන් පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය නිවැරදි නොවන බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කරන ලදී. පාසල් දරුවන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කිරීම වහා නතර කළ යුතු තත්වයකි.

මේ වන විට බොහෝ පාසල්වල දරුවන් සහ ගුරුවරුන් කෝවිඞ් 19 ආසාදිතයන් බවට පත් වී ඇති තත්වයක පවතින අවදානමට අදාළව එම සංඛ්‍යා දත්ත නිවැරදිව වාර්තා නොකර තොරතුරු වසන් කිරීමට කටයුතු කිරීම තුළ රෝග පාලනයට බාධා ඇති තත්වයක් දක්නට ඇත. නිවැරදි තොරතුරු වාර්තා වන්නේ නම් දෙමව්පියන් සහ ගුරුවරු ආරක්ෂාකාරී ක‍්‍රමවේද අනුගමනය කර කටයුතු කිරීම සිදුවනු ඇත. පසුගිය දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ද රජය තොරතුරු වසන් කරන බව මාධ්‍ය හරහා ප‍්‍රකාශ කර තිබුණි.

මෙම තත්වය තුළ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු සැලසුමකින් තොරව දින පමණක් ප‍්‍රකාශ කිරීමෙන් මේ වන විට පාසල් දරුවන්, දෙමාපියන් මෙන්ම ගුරු-විදුහල්පතිවරු ද බරපතල අවිනිශ්චිත භාවයකට ලක්ව සිටී. මේ තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කොට කෝවිඞ් 19 වසංගත තත්වය තුළ පාසල් නැවත ආරම්භ කර සුරක්ෂිතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මාර්තු 15 දිනට පෙර විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු යොදන ලෙසත්, පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සැලැස්මකින් තොරව කරුණු ප‍්‍රකාශවීම සිදු නොවිය යුතු බවත් ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.