රසායනාගාරවල අතිරික්ත PCR පරීක්ෂණ දහදාහක් පමණ හිර වෙලා

රසායනාගාරවල අතිරික්ත PCR පරීක්ෂණ දහදාහක් පමණ හිර වෙලා

පසුගිය කාලය පුරාම අවශ්‍ය ප්‍රතික්‍රීයක ලබාදෙන්නට කියලා ඉල්ලීම් කලත්, අමාත්‍යාංශය ඒ පිළිබඳව ඇහුම්කන් දීමක් කළේ නැහැ. රසායනාගාරයක් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සැපයුම් පද්ධතිය නිසි පරිදි යථාවත් විය යුතුයි. රසායනාගාර වල අවශ්‍යතා සාකච්ඡා කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අදාළ වෘත්තිකයන්ට ඉඩක් ලබාදීලා නෑ.

මේ වනවිට රසායනාගාර කළමනාකරණය වෙමින් තියෙන්නේ, ඒ පිළිබඳව නිවැරදි දැනුමක් ඇති අයගේ සහභාගීත්වයෙන් නෙවෙයි. ඒ හින්දම මේ මට්ටමෙන් හෝ රසායනාගාර පවත්වාගෙන යන්නේ විශාල වෑයමක් යොදලා, තමන්ගේ පෞද්ගලික වැඩක් කරගන්නවා වගේ.

️වෛද්‍ය සැපයුම් ගැලපෙන්නේ නැහැ

වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලදී ගන්න සමහර ප්‍රතික්‍රියක රසායනාගාරයේ දී නිවැරදිව වැඩ කරන්නේ නැහැ. රසායනාගාර වලට ලබා දෙන PCR ප්‍රතික්‍රීයක ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබෙනවා ද? ඖෂධ නියාමන අධිකාරිය වලංගු කිරිමේ පරීක්ෂණ කරල තියෙනවද? සුදුසු ප්‍රතික්‍රියක බවට ඇගයුම් කමිටු වල සහතික ලබාදීලා තියෙන්නේ මොන විශේෂඥ වෛද්‍යවරයා ද? ඒවා ඉල්ලලා තියෙන්නේ කොයි රසායනාගාරයෙන් ද? වැනි කරුණු පිළිබඳව කිසිදු පැහැදිලි අවබෝධය කාටවත් නැහැ. සමහර අය තමන්ගේ සන්නාමය මිලදී ගැනීම සඳහා විශාල ව්‍යාපාරික අරගලයක් කරනවා. තවත් සමහරු වැරදි සහගත මිලදී ගැනීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරමින් තිබෙන පරීක්ෂණයට බලපෑම් කිරීම සඳහා, PCR රසායනාගාර අඩපණ කරන්නට උත්සාහ කරනවා. තවත් අය, තමන්ට හිතවත් වලට නිදර්ශක ටික යැවීම සඳහා ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු කරමින් සිටිනවා. රටේ මහජනතාව වෙනුවෙන් අමාරුවෙනි ස්ථාපිත කරවාගෙන තියෙන PCR රසායනාගාර වලට අවශ්‍ය සැපයුම් ලබාදෙන්න, ඒවායේ වැඩ කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් කවුරුත් හොයල බලන්නෙ නෑ.

බිලියන ගණන් පිල්ලි ගහමින්, අතිකාල කපලා ඉතුරු කරන්න හදනවා

සමහර අධ්‍යක්ෂවරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මිලියන ගණන් නාස්ති කරන ගමන්, බිලියන ගණන් වංචා කරන්නට ඉඩ හරින ගමන්, සල්ලි ඉතුරු කරන්න යන්නේ රසායනාගාරවල දිවා රෑ වැඩ කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ අතිකාල කප්පාදු කරලා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ PCR රසායනාගාර 18ක් තියනවා. ඒ එකක්වත් පැය විසිහතර දුවවන්න අවශ්‍යතාවයක් ඔවුනට නැහැ. හදිසියට විවේක ගන්න, කෑම වේලක් සපයන්න, නවාතැන් පහසුකමක් හදලා දෙන්න තබා, අවුරුද්දකට වැඩි කාලයක් එක දිගට, දිවා රෑ නොබලා මේ රාජකාරියේ යෙදෙන කාර්‍යමණ්ඩලයෙ ධිරිමත් කිරීමටවත් ඔවුනට නොහැකි වෙලා තියනවා.

️වසර පහලොවක් පැරණි තාක්ෂණය

අපි තාම මේ රසායනාගාරවල භාවිත කරන්නේ වසර 15 කට වඩා පැරණි තාක්ෂණය. එක PCR පරීක්ෂණයක් කරන්න පැය 8 කට වඩා කාලයක් ගත වෙනවා. රසායනාගාරයේ වේගය වැඩි කිරීම එහි ඉන්න කාර්යමණ්ඩලයට හිතෙන ආකාරයට කරන්නට බැහැ. ඒ සඳහා අවශ්‍ය දියුණු තාක්ෂණය ගැන රසායනාගාර සේවාවේ ඉහල පුටු රත් කරන අය දන්නේ නැහැ. එහෙම නැත්නම් පවතින ක්‍රමය තුළ ඔවුන් විසින් ලබාගනු ලබන වාසි අත හරින්නට කැමති නැහැ. පැය එකහමාරක වගේ කාලයකින් පරීක්ෂණ වාර්ථා නිකුත් කරන්නට පුළුවන් තාක්ෂණය පිළිබදව මාස ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා දක්වා දැනුවත් කරලා තියෙනවා. ඉල්ලීම් කරලා තියනවා. ඒ මොනවාද කියලාවත් හොයලා බැළුවේ නෑ.

අළුත්ම තාක්ෂණයට අදාල ලබා ගන්න PCR යන්ත්‍රයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රසායනාගාරයට ආධාර වශයෙන් ලබාදීලා මාස තුනක් විතර වෙනවා. අඩු ගානේ ඒක රසායනාගාරය ඇතුලේ හයි කරලා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට තවම බැරිවෙලා තියෙනවා.

️පරීක්ෂණ කරනවාට වඩා විශාල කාලයක්, වාර්ථාව අතර මැදතැන් වල ප්‍රමාද වෙනවා

PCR නිදර්ශක රසායනාගාරයට එන්නෙ හවස වරුවේ. රසායනාගාර පැය විසිහතර පුරා පවත්වා ගෙන යන්න ආයතන ප්‍රධානීන්ට බැරිවෙලා තියන නිසා, පරික්ෂණ කරන්න පටන් ගන්නෙ පසුවදා. එදිනම වාර්තාව නිකුත් කරනවා. සමහර වෛරසවේදීන් වාර්තා නිකුත් නොකර තමන් ලග ගොඩ ගසා ගන්නවා. එම වාර්තාව නැවත යන්නේ වසංගත ප්‍රාදේශීය වසංගත ප්‍රධානියාට. මෙම සාම්ප්‍රදායික ක්‍රම වේදය අනුව රසායනාගාරය තුළ PCR පරීක්ෂණය සිදු කරන්නට යන කාලයට වඩා, තුන් හතර ගුණයක කාලයක්, වාර්තාව අදාල පුද්ගලයා වෙත යොමුකරන ගන්න ගත වෙනවා.

️ජංගම රසායනාගාර කිහිපයක් හදන්න තාම බැරිවෙලා තියනවා

ක්ෂේත්‍රයේ එකතුවන විශාල නිදර්ෂක ප්‍රමාණයක් රසායනාගාර වලට පැමිනීම පහසුවෙන් වැලැක්වීමට ස්ථානීය PCR යන්ත්‍ර සහිත, ජංගම වෛද්‍ය රසායනාගාරයකට පුළුවං. ජංගම වෛද්‍ය රසායනාගාර දහයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය බස්රථ දහයක් ඉල්ලලා අවුරුද්දකට වැඩියි. ජනාධිපතිතුමා තමන්ට හිතවත් සංගම් වලට පවා බස්රථ බෙදනවා අපි දැක්කා. සෞඛ්‍ය අමාත්‍යාංශයට ජංගම බස්රථ දහයක් අරගෙන, ජංගම රසායනාගාර දහයක් හදාගන්න අපිට තවම බැරිවෙලා තියෙනවා. ජංගම රසායනාගාරයක් තුළ ප්‍රතිදේහ පරීක්ෂණ සහ ස්ථානීය PCR පරීක්ෂණ එකවර සිදු කරන්නේ නම් ක්ෂේත්‍රයේ සියලු PCR පරීක්ෂණ රසායනාගාර වලට බරක් නොවී ක්ෂේත්‍රය තුළ ම අවසන් කිරීමට හැකියාව තිබෙනවා.

️රසායනාගාර කළමණාකරණය අයාලේ යන්නට ඉඩ හැරලා, හොද ප්‍රතිඵල ලබා ගන්නට බැහැ

රසායනාගාර සේවාවේ අවශ්‍යතා ගැන, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ හෝ ජනාධිපති කාර්ය සාධනය බළකාය තුළ හෝ නිරන්තර සාකච්ඡාවකට ලක් වෙන්නේ නැහැ. සාකච්චා සිදු වුවද, PCR පරීක්ෂණ සිදුකරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්, ඊට සහභාගී කරවා ගන්න ස්වභාවයක් නැහැ. අදාළ වෘත්තීයවේදීන් සමග හොද ගණුදෙණුවක් ඇති කර ගැනීම, වෛද්‍ය පරිපාලනයට ගැටලුවක් වෙලා තිබෙන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා රසායනාගාරයේ තියන ඇත්ත ප්‍රශ්නය සෞඛ්‍යය ලේකම්වරයා හෝ ඇමතිවරු හෝ ජනාධිපතිවරයා හරියටම දන්නේ නැහැ. ඒ වෙනුවට විවිධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සන්නාම අරගල සඳහාත් නොහැකියාවන් වසා ගැනීම සඳහාත්, වෘත්තීය කුහක බවේ විලි වසා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ විශාල පරිපාළණ ඉඩක් ලබාදී තිබෙනවා. මේ පිළිබඳව ජනාධිපති වරයා පවා දැනුවත් කර ඇති නමුත්, මැදිහත් වීමේ හැකියාවක් ඔහුට පවා නැති බව තමයි පෙනෙන්නට තියෙන්නේ.

️රසායනාගාර ධාරිතාවේ නොහැකියාවට වඩා, පවතින්නේ පරිපාලන නොහැකියාවක්

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින රසායනාගාරවල සාමාන්‍ය ධාරිතාවය දිනකට පරීක්ෂණ 25000 ක පමණ ප්‍රමාණයක් බව තහවුරු කළ හැකියි. මේ වන විට, PCR නිදර්ශක ගොඩගසාගෙන ඇති රසායනාගාර ඇතුළු රජයේ බොහෝ රසායනාගාර වල සිදුකල හැකි ධාරිතාවෙන් අඩක ප්‍රමාණයක් වත් තවම අපි සිදුකරන්නේ නැහැ. එය, රසායනාගාර කළමණාකරන දුර්වලතාවයක්.

රවී කුමුදේශ්, සභාපති, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය