පාසල් උත්සව තාවකාලිකව නතර කරයි

පාසල් උත්සව තාවකාලිකව නතර කරයි

පාසල්වල උත්සව පැවැත්වීම තාවකාලිකව නතර කිරීමට අධ්‍යාපන ලේකම් කටයුතු කර ඇති බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

කෝවිඩ් 19 ව්‍යාප්තිය තුළ පාසල්වල උත්සව ඇතුළු වෙනත් බාහිර කි‍්‍රයාකාරකම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක‍්‍රලේඛයක් පවා නිකුත් කොට තිබියදී විවිධ උත්සව පැවැත්වීම දක්නට ලැබුණි. එසේම පෙබරවාරි 12 දින මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ ජනාමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිරෝධායන පිළිවෙත් ද උල්ලංඝණය කරමින් පාසල් සිසුන් ද සහභාගි කරවාගෙන උත්සවයක් පවත්වා තිබුණේ එම පාසලේ දරුවන් සිව්දෙනෙකුට සහ ගුරුවරියකට කෝවිඩ් 19 ආසාදනය වී තිබියදීය.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කළ අතර, 2021.02.15 (අද දින) අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් ED/09/12/06/05/01-2021-sub IV අංකයෙන් යුතු ලිපියක් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කොට්ඨාස අධ්‍යක්ෂවරු, පරිවේණාධිපතිවරු සහ විදුහල්පතිවරු වෙත දැනුම් දී ඇත්තේ කෝවිඞ් 19 වසංගත තත්වය තුළ නැවත දැනුම් දෙන තුරු පාසල්වල උත්සව පැවැත්වීම අත්හිටුවන බවයි. එසේම ඉදිරියේ දී එවැනි උත්සව පැවැත්වීම සඳහා දැනටමත් කටයුතු සංවිධානය කර ඇත්නම් එම කටයුතු ද නතර කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ද එම ලිපිය මගින් දැනුම් දී ඇත.

කෝවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්වීම වෙනුවෙන් අධ්‍යාපන ලේකම්වරයා විසින් ගන්නා ලද මෙම කි‍්‍රයාමාර්ගය පිළිබඳව අවධානය යොමු කර පළාත් අධ්‍යාපන බලධාරීන් මෙම නියෝගය කි‍්‍රයාත්මක කිරීමට අදාළ කටයුතු සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.