සංවර්ධන නිලධාරින් සියලු දෙනාට කප්පාදුවකින් තොරව යතුරු පැදි

සංවර්ධන නිලධාරින් සියලු දෙනාට කප්පාදුවකින් තොරව යතුරු පැදි

ආශ්‍රිත සේවා (ක්ෂේත්‍රගත/ කාර්යාලගත) සියලූ නිලධාරීන් සඳහා කප්පාදුවකින් තොරව යතුරුපැදි ලබා දීමේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සංවර්ධන නිලධාරි සේවා සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ MN-04 2006 A වැටුප් තලයට අයත් වන ක්ෂේත්‍රගත/ කාර්යාලගත සියලූම නිලධාරීන්ටම හිමිවන පරිදි තීරුබදු රහිත යතුරුපැදි ලබාදීමේ තීරණය ක්‍රියාත්මක කරන මෙන් අප සංගමය ඉතා වගකීමෙන් පළමුව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මැතිතුමා සිදු කළ ප්‍රකාශයක් අනුව සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් 2014/01/31 දිනෙන් පසු රාජ්‍ය සේවයට පැමිණ වසර 05 ක සේවා කාලයක් සහිත තනතුරු ස්ථීර වූ සංවර්ධන නිලධාරීන්ගෙන් පමණක් තොරතුරු ගැනීමක් පසුගිය දිනවල සිදු කරන ලදි.

පසුව මේ සම්බන්ධව අප සංගමය ගරු ඔබතුමාට 2020/12/15 දිනැතිව ලිපියක් යොමු කරමින් කප්පාදුවකින් තොරව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය තුළ MN-04 ආශ්‍රිත සේවා වැටුප් කාණ්ඩයට අයත් සියලූම සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන්ට තීරුබදු රහිත යතුරුපැදි හිමිකම ලබාදෙන මෙන් ඉල්ලා සිටින ලදි. නමුත් මේ දක්වා සමස්තය ආවරණය වන පරිදි තොරතුරු ලබා ගැනීමක් ද මෙතෙක් සිදුවී නොමැත.

02. රාජ්‍ය සේවා, පළාත් රාජ්‍ය සේවා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු සියලූම ආයතන වල MN-04 ආශ්‍රිත සේවයට අයත් ක්ෂේත්‍රගත /කාර්යාලගත සියලූම නිලධාරීන්ට තීරුබදු රහිත යතුරුපැදි හිමිකම හිමිවන පරිදි රජයේ විධිවිධාන කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

03. 2014 වර්ෂයේ තීරුබදු රහිත යතුරුපැදි හිමිකම ලබාගත් සියලූම නිලධාරීන්ට වසර 05 ක රාජ්‍ය භාරය අවසන් කර ඇත්නම් යළි ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබා දීම.

04. MN-04 වැටුප් තලයට අයත් සියලූම නිලධාරීන් ක්‍ෂේත්‍රගත හා කාර්යාලගත සේවාවකට අයත් වන බැවින් අදාළ තීන්දුව ක්‍රියාත්මක කරන අවස්ථාව වන විට වසරක අභ්‍යාසලාභී පුහුණුව අවසන් කළ සියලූම උපාධිධාරීන් දක්වා තීරුබදු රහිත යතුරුපැදි හිමිකම ලැබීමට අදාළ විධි විධාන සකස් කිරීම.

යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන මෙන් අප සංගමය ඉතා  ඕනෑකමින් රජයෙන් ඉල්ලා සිටිමු.