කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සමාජ අපකීර්තිය වැළැක්වීමට හදිසි දැන්වත් වැඩසටහනක් ඉල්ලයි

කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සමාජ අපකීර්තිය වැළැක්වීමට හදිසි දැන්වත් වැඩසටහනක් ඉල්ලයි

ඇඟලුම් අංශයේ සේවකයින් සහ පවුල් ඇතුළු සියලුම කෝවිඩ්-19 ආසාදිත පුද්ගලයින් පිළිබඳ සමාජ අපකීර්තිය නැති කිරීම සඳහා හදිසි දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉල්ලා සිටිමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කෝවිඩ්-19 වෛරසය සඳහා ආසාදිත බවට පරීක්ෂා වූ ඇඟලුම් අංශයේ සේවකයින් ඇතුළු පුරවැසියන්, ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේ සමීපව සම්බන්ධිත අය පිළිබඳව ඉතා වේගයෙන් වර්ධනය වන සමාජ ප්‍රතික්ෂේප කිරීම් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ ක්ෂණික අවධානය යොමු කිරීමට අපි කැමැත්තෙමු.

මේ වන විට, නිල වාර්තා අනුව, සියලුම දිස්ත්‍රික්කවල විශේෂයෙන්ම කාර්මික උද්‍යාන, නිදහස් වෙළඳ කලාප සහ ඒවායින් පිටත අපනයනය නිෂ්පාදන කර්මාන්තශාලා තුළ වසංගතය ව්‍යාප්ත වී තිබේ. අපගේ තොරතුරු වලට අනුව වඩාත්ම බලපෑමට ලක් වූ කර්මාන්තශාලා අයත් වන්නේ ඇඟලුම් අංශයට ය.

වසරකට ආසන්න කාලයක් වන පසුගිය මාස වල දී, සේවකයින් ආසාදිත බවට පරීක්ෂා වූ බවට හෝ “පළමු පෙළ සම්බන්ධතා” ලෙස නිරෝධායනයට ලක්කර ඇති අවස්ථාවල දී ඔවුන්ගේ පවුල් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම පිළිබඳ වාර්තා සහ පැමිණිලි අපට ලැබෙමින් පවතී. කෝවිඩ්-19 වෛරසයේ බලපෑමට ලක් වූ පුද්ගලයින්ට නවාතැන් දීම සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාව 2020 සැප්තැම්බර් අග දෙවන රැල්ල ආරම්භ කරමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සිදු වූ හදිසි පැතිරීයාමත් සමඟ ඉතාමත් විවෘත හා ආක්‍රමණශීලී වී ඇත. කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සහ එහි අසල්වැසි ප්‍රදේශවලට වසංගතය පැතිරී යාමත් සමඟම පීඩාවට පත් සේවකයින් විසින් මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරනු ලැබූ අතර, සමාජ මාධ්‍යයන් තුළ තම දුක්ඛිත තත්වය පැහැදිළි කර තිබුණි. බෝඩිං-නිවාස හිමියන්ට ඔවුන් ඉවත් කිරීම අවශ්‍ය වූ බවත්, එම නිවාස හිමියන් ඔවුන්ට සේවය කිරීම ප්‍රතික්ෂේප කළ බවත්, රැකියාවට යාම සඳහා ඔවුන්ට බස්රථ නතර නොකළ බවත් ඔවුහු කියා සිටිති.

කෝවිඩ්-19 මඟින් බලපෑමට ලක් වූ ජනතාව “සමාජ විරෝධී” සහ සමාජයට “තර්ජනයක් ලෙස” ලෙස නිරූපණය කරමින් සිදු කළ ඍණාත්මක ප්‍රචාරණයන් හේතුවෙන් කෝවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව මෙම අනවශ්‍ය සහ අදාල නොවන සමාජ තහනම සහ අපකීර්තිය ඇති කරවීමට බලපෑම් කළ බව අපගේ විශ්වාසය යි. සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් සහ පොලීසිය විසින් ඇතැම් විට මහ රාත්‍රියේ දී “සැක සහිත” කෝවිඩ්-19 සම්බන්ධතා තිබූ අය “අල්ලා ගත්” අයුරු මෙන්ම ආසාදනය වැළැක්වීමේ ක්‍රම අනුගමනය නොකිරීම නිසා දඬුවම් ලැබූ අයුරු මාධ්‍ය විසින් නිfවිදනය කරන ආකරය මෙය වර්ධනය කිරීමට තුඩු දෙන ලදී.

මෑත සිදුවීම් පෙන්නුම් කරන පරිදි මෙම සමාජ අපකීර්තිය හා තහනම් කිරීම් මේ වන විට  දරාගත හැකි සීමාවන් ඉක්මවා ගොස් ඇත. වෘත්තීය සමිතියක් වශයෙන් අපට බොහෝ සිදුවීම් පිළිබඳ පැමිණිලි සහ තොරතුරු ලැබෙමින් පවතී. බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියැද්ද ප්‍රදේශයේ කර්මාන්තශාලා දෙකකින් ආසාදිත සිද්ධීන් වාර්තා වීමත් සමඟ “සමීප සම්බන්ධිතයින්” ලෙස හඳුනාගෙන නොමැති සේවකයින්ගේ පවුල්වල පවා ඔවුන්ගේ/අවට ප්‍රජාවන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඇඟලුම් අංශයේ සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට සේවය ලබාදීම වෙළඳසැල් විසින් ද ප්‍රතික්ෂේප කර ඇත.

තවමත් සේවයේ යෙදී සිටින සේවකයෙකුට ඉන්ධන ලබා දෙන ස්ථානයක දී ඔහුගේ ස්කූටරයට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි. හසලක ප්‍රදේශයේ පාසල් බලධාරීන් විසින් ඇඟළුම් සේවයේ යෙදී සිටින කම්කරුවන්ගේ දරුවන් පාසැලට භාර නොගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි. තම බිරිඳ කෝවිඩ් - 19 ආසාදිත සිදුවීම් සහිත කර්මාන්ත ශාලාවක සේවිකාවක් වීම නිසා ත්‍රිරෝද රථ රියදුරෙකුට ඔහුගේ සියලුම කුලී රථ ගමන් අහිමි වී තිබුණි.

ආසාදිත බව පරීක්ෂාවට ලක් වීම හෝ එවැනි පුද්ගලයෙකු පවුලේ සිටීම නිසා නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් පුද්ගලයින් හෙළා දැකීම හා ප්‍රතික්ෂේප කිරීමේ මෙම ප්‍රවණතාව කෝවිඩ් - 19 ව්‍යාප්තවීම තරම්ම වේගයෙන් පැතිරී යන බවක් පෙනෙන්නට ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන නිල ප්‍රචාරක කටයුතු හරහා  කෝවිඩ් - 19 වෛරසය සහ එහි පැතිරීම පිළිබඳව දැනුවත් කිරීම මඟින් වහාම වළක්වා ගත යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් සමාජමය වශයෙන් මිනිසුන් බැහැර කිරීම අවශ්‍ය නොවන බව මිනිසුන්ට කරුණු සහ සාක්ෂි සහිතව ඒත්තු ගැන්විය යුතුය. 

එවැනි සමාජීය දැනුවත් කිරීමක් හදිසියේ ඇති නොකරන්නේ නම්, නිදහස් සමාජ සංචලතාවයකින් යුතුව ආර්ථික ක්‍රියාකාරකම් ඵලදායී ලෙස සිදු කළ නොහැකි වෙතැයි අපි භීතිය පල කරන්නෙමු.