නාවලපිටියේ දුම්රිය ඉඩම් දේශපාලන බලය යොදා අත්පත් කරගනියි

නාවලපිටියේ දුම්රිය ඉඩම් දේශපාලන බලය යොදා අත්පත් කරගනියි

දේශපාලන බලය අයුතු ලෙස යොදා ගනිමින් ආණ්ඩුවේ අමාත්‍ය වරයෙකු වන මහින්දානන්ද අළුත්ගමගේ මහතා නාවලපිටිය දුම්රිය ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

නාවලපිටිය ආසනයේ නිවාස 100 ක මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් ලෙස මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු අක්කර 02 ක පමණ දුම්රිය ඉඩම මේ ආකාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කරමින් ඇත. ප්‍රදේශයේ දේශපාලන බලවතා ලෙස අළුත්ගමගේ මහතා ඔහුගේ දේශපාලන හිතවතුන් පිරිසක් සහ දුම්රිය නිලධාරීන් පිරිසක් මෙම භූමිය පරීක්‍ෂාකර ඇති අතර, කිසිදු දුම්රිය නිලධාරියෙක් භූමිය පවරා දීමට එකඟතාවය ප්‍රකාශකර නැත. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකිවයුතු සියළු නිලධාරීන් මෙම භූමිය පවර දීමට එකඟතාවය ප්‍රකාශකර ඇතැයි අසත්‍ය තොරතුරු සඳහන් කර කිසිදු ගෙවීමකින් තොරව මෙම ඉඩම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට අමාත්‍ය වරයා කටයුතු කරමින් ඇත.

මෙම භූමියට අමතරව, පර්චස් 79.35 ක ප්‍රමානයක දුම්රිය රක්‍ෂිත ඉඩමක් මහින්දානන්ද පදනමට තාවකාලිකව බදු පදනම යටතේ ලබාදී ඇති අතර, මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ නමින් තවත් පර්චස් 11.5 ක දුම්රිය රක්‍ෂිත ඉඩම් කොටසක් ලබා දී ඇත. මෙම භූමිය බදු පදනම මත තාවකාලිකව ලබාදී ඇති බැවින්, එහි කිසිදු ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හැකියාවක් නොමැති අතර, වෙනත් අයගේ පරිහරණයට පත්කිරීමට ද නොහැකිය. එසේ වුවත් එම භූමියේ ස්ථීර තට්ටු ගොඩනැගිලි ඉදිකර ඇති අතර, පිටස්තර අයගේ පරිහරණයට ලබා දී ඇත. මීට අමතරව දුම්රිය සේවක නිලනිවාස බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට කටයුතු කරමින් ඇත.

ඇමති වරයාගේ කාර්යභාරය විය යුත්තේ ”සෞභාග්‍යයේ දැක්ම ” යටතේ නාවලපිටිය දුම්රිය නගරයක් ලෙස සලකා, දුම්රිය සේවය පුළුල් කිරිමට අළුත් යෝජනා ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීම වුවද, මේ දක්වා එවැනි කිසිදු වැඩ පිළිවෙලක් යෝජනා වී නොමැති බවද පෙන්වා දෙමු. ඇමති වරයාගේ දේශපාලන උවමනාව මත, රාජ්‍ය දේපලක් වන දුම්රිය රක්‍ෂිත භූමිය යොදා ගනිමින් ස්ථීර ගොඩනැගිලි ඉදිකිරීම නිසා දුම්රිය සේවය සංවර්ධනය කිරීමට දැඩි බාදාවක් වන බවද පෙන්වා දෙමු.

ජනතාවගේ ඡන්ද බලාගෙන රාජ්‍ය සම්පත් බලහත්කාරයෙන් අත්පත් කරගෙන මහින්දානන්ද ඇමති වරයා සිදුකරන දුම්රිය ඉඩම් මංකොල්ලය වහාම නතර කරන ලෙසත්, දුම්රිය දේපල යොදාගනිමින් නාවලපිටිය ප්‍රදේශයේ සිදු කරන ජාවාරම් නතර කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.