ගුරු වෘත්තීය සමිති විදුහල්පති සේවයේ පුරප්පාඩු පුරවන ආකාරයට දැඩි විරෝධය

education

විදුහල්පති සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතිනින පුරුරප්පාඩු සඳහා සේවා ව්‍යවස්ථාවලට පරිබාහිරව පත්වීම් ලබාදීමට ගනු ලැබූ කැබිනට් තීරණය සම්බන්ධයෙන් විරෝධය පළකරමින්, අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපිය නීල් අතුකෝරල, ලේකම්,  ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය,  කමල් ආරියසිංහ, සභාපති, ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, ජෝසප් ස්ටාලින්,  ප‍්‍රධාන ලේකම්, ලංකා ගුරු සංගමය  හා  මහින්ද ජයසිංහ, ලේකම්, ලංකා ගුරු සේවා සංගමය යන වෘත්තීය සමිති නායකයින් මෙම ලිපිය සඳහා අත්සන් තබා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ව්‍යවස්ථානුකූලව තරඟ විභාග පවත්වා එම ලකුණු මත සම්මුඛ පරීක්ෂණ මගින් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා වසරකට වැඩි කාලයක් ගතවන බව පවසමින් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඔබ විසින් ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු 4600 කට පමණ නීති විරෝධී ලෙස පත්වීම් ලබාදීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීම සහ ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා ද සේවා ව්‍යවස්ථාවට පරිබාහිරව නීති විරෝධීව 300 කට ආසන්න පිරිසක් බඳවා ගැනීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් සකස් කිරීමේ තීරණයට අප සියලූම වෘත්තීය සමිති විරෝධය පළ කරමු.

ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශී‍්‍ර ලංකා විදුහල්පති සේවය ඇතුළු අධ්‍යාපනයට අදාළ සියලූම සේවාවන් සඳහා වාර්ෂිකව පවතින පුරප්පාඩුවලට අනුව විධිමත් පරිදි සේවා ව්‍යවස්ථාවලට අනුව බඳවා ගැනීම් සිදු කිරීමට අවස්ථාව තිබියදීත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අධ්‍යාපනයට අදාළ සේවාවන් සඳහා නිලධාරීන් බඳවා ගැනීමෙන් එම සේවාවන් සඳහා විධිමත් පරිදි ඇතුළත් වීමට සුදුසුකම් සම්පූර්ණ කර ඇති දක්ෂ නිලධාරීන් සඳහා මෙන්ම සමස්ත අධ්‍යාපන පද්ධතියටම සිදු කරනුයේ බලවත් අසාධාරණයක් මෙන්ම අගතියකි.

ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශී‍්‍ර ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශී‍්‍ර ලංකා විදුහල්පති සේවය සහ ශී‍්‍ර ලංකා ගුරු සේවයට අදාළව පවතින සියලූම වෘත්තීය සංගම්වල එකතුවක් වන ‘අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව’ ලෙස අප ඉල්ලා සිටිනුයේ අධ්‍යාපන පරිපාලන සේවයට සහ විදුහල්පති සේවයට නීති විරෝධීව බඳවා ගැනීමේ කැබිනට් තීරණ වහාම අහෝසි කරන ලෙසත්, අධ්‍යාපනයට අදාළ සියලූම සේවාවන් සඳහා කඩිනමින් එම සේවා ව්‍යවස්ථාවන්ට අනුව විධිමත් පරිදි සුදුස්සන් තෝරාපත් කිරීමටත් අදාළ කටයුතු සිදු කරන ලෙසත්ය.

තවද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප සංගම් වෙත කඩිනමින් අවස්ථාවක් ලබාදෙන ලෙසත්, මේ සම්බන්ධයෙන් 2021 මාර්තු මස 17 වන දිනට ප‍්‍රථම යහපත් ප‍්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට එළඹීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වමු.