අභ්‍යාසලාභි උපාධිධාරින්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අද අමාත්‍යංශයට

අභ්‍යාසලාභි උපාධිධාරින්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අද අමාත්‍යංශයට

මාර්තු 18 නිකුත් කළ අභ්‍යාසලාභී පුහුණුව සඳහා වූ නාම ලේඛනයේ නම් සඳහන් නොවූ සුදුසුකම් සහිත උපාධිධාරීන්ගේ ගැටළුව සම්බන්ධව රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඒකාබද්ධ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අද දින (22) අභ්‍යාසලාභි උපාධිධාරින්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන් හමුවීමට යන බවයි.

එමනිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම සඳහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නැවත මාර්තු 16 දින අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව සඳහා 897 ක පිරිසක් තෝරා නාම ලේඛනයක් නිකුත් කර ඇත. එහෙත් පෙර පැවසූ පරිදි 60 000ක පිරිස වෙනුවට මේ නව පිරිසත් සමඟ තෝරාගෙන ඇත්තේ උපාධිධාරීන් 52 889 පමණි. කෙසේ වෙතත් තවමත් 7411 ක අතිරික්තයක් තෝරා ගැනීමේ හැකියාවක් ද පවතින අතර 2019.12.31 දිනට උපාධි වලංගු දිනය සහිත උපාධිධාරීන් බොහොමයක් ද රැකියා විරහිතව අසාධාරණයට පත්ව සිටිති.

මෙලෙස සුදුසුකම් සහිත එහෙත් මෙතෙක් අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් නොවූ උපාධිධාරීන්ගේ ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ හා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයින් 2021.03.22 දින පෙ.ව 9.30 ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන් හමුවීමට නියමිත බවයි.