ලංගම කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමේ තීරණයක් 

ලංගම කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමේ තීරණයක් 
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියලුම සේවකයන් ස්ථිර කිරීමට රජය තීරණයකර තිබේ.
 
පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඒ බව සඳහන් කළේය.
 
මේ අතර, පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එළඹෙන මැයි මාසයේදී අදාළ විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 
 
රට පුරා ඇති උප ඩිපෝ බස් රථගාල ලෙස පමණක් භාවිත කිරීමට සහ ඒවාට අදාළ පරිපාලන කටයුතු ප්‍රධාන ඩිපෝ මගින් පමණක් සිදු කිරීමටත් ඒ මගින් රට පුරා බස්රථ ප්‍රවාහනය ක්‍රමවත් සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමටත් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද රජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
පවතින රියදුරු සහ කොදොස්තර පුරප්පාඩු සඳහා අඩු ආදායම්ලාභීන් අතුරින් තෝරා ගන්නා සුදුසුකම් ලත් පුද්ගලයන් හැකි ඉක්මනින් බඳවා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී  කියා සිටියේය.
 
මහා මාර්ගවල සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡාවට ගැණුනු අතර මගී ප්‍රවාහන බස්රථ රියදුරන් සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ අමාත්‍යංශය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.