ඌව පළාත් සෞඛ්‍ය සේවා සංවර්ධන නිලධාරින් රාජකාරිවලින් ඉවත්වේ

ඌව පළාත් සෞඛ්‍ය සේවා සංවර්ධන නිලධාරින් රාජකාරිවලින් ඉවත්වේ

කෝවිඩ්- 19 රාජකාරී සඳහා දීමනා ලබා නොදීමට එරෙහිව ඌව පළාත් සෞඛ්‍ය සේවා සංවර්ධන නිලධාරීන් රාජකාරීවලින් ඉවත් වීමට පියවර ගෙන ඇති බව සංවර්ධන නිලධාරි සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

Covid-19 වසංගතය මර්දනය සහ පාලනය කිරීමට අදාළව 2020 වර්ෂයේ සිදු කරනු ලැබූ රාජකාරීවලට ගෙවිය යුතු අතිකාල හා නිවාඩු දින වැටුප් සංවර්ධන නිලධාරින්ට පමක් නොගෙවීමට විරෝධය පළ කරමින් ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් Covid-19 සම්බන්ධයෙන් වන රාජකාරීවලින් 2021 අපේ‍්‍රල් 08 සිට ඉවත් වීමට පියවර ගෙන ඇත.

ඌව පළාත් ප‍්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මුදල් කළමණාකරණය පිළිබඳ චක‍්‍රලේකය පදනම් කරගනිමින් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල (MOH Office) කෝවිඩ් රාජකාරිවල නිරතවූ සංවර්ධන නිලධාරීන්ට පමණක් අදාළ දීමනා ගෙවීම ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

කොවිඩ් වසංගතය හමුවේ රටේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ දිනවල, රජයේ විශේෂ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කළ දිනවල, සිංහල අලූත් අවුරුදු දිනවල, වෙසක් පෝය නිවඩු දිනවල පමණක් නොව කම්කරු දිනය ආදී විශේෂිත දිනවල පවා රාජකාරියට කැඳවමින් සේවය ලබාගෙන, කළ කැප කිරීම් මෙසේ අවතක්සේරුවට ලක් කරමින් සේවය නොසලකා හැරීම බරපතල කරුණකි.

සංවර්ධන නිලධාරීන් ඉටු කරන කොවිඩ් රාජකාරී වන්නේ, PCR කටයුතු සඳහා පෙර සූදානම, PCR කර ගැනීමට පැමිණි ආශ්‍රිතයින් හමුවට ගොස් ඔවුන් ලියාපදිංචි කර සාම්පල් ගැනීම සඳහා VTM සකස් කිරීම, PCR කළ පුද්ගලයින්ගේ අදාළ තොරතුරු පරිගණකගත කර අදාළ ආයතන වෙත යොමු කිරීම, නිරෝධායනය වන පුද්ගලයින්ගේ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබාගෙන එම තොරතුරු පරිගණකගත කර අදාල ආයතන වෙත යොමු කිරීම, කොවිඩ්- 19 වැළඳුණු රෝගීන්ගේ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබාගෙන පරිගණකගත කර අදාළ ආයතන වෙත යොමු කිරීම, රෝගීන්ගේ ආශ්‍රිතයින්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් ලබාගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම්දීම ආදියයි.

එකම අවධානම් තත්වයේ දී එකම අවධානම් තත්වය යටතේ සේවාවන්වල නිරත වූ සෞඛ්‍ය අංශ කාර්යමණ්ඩල සඳහා අදාළ ගෙවීම් සිදු කර ඇති අතර එම කාර්යාලවලම රැදෙමින් එකම රාජකාරිය ඉටු කළ සංවර්ධන නිලධාරීන්ට අදාළ දීමනා ලබා නොදීම බලධාරීන්ගේ අතිශය අන්තනෝමතික තීරණයක් වන අතර එම අන්තනෝමතික තීරණයන්ට එරෙහිව ගත යුතු පියවර ගන්නා බවද වැඩි දුරටත් අවධාරණය කරමු.

Covid-19 වසංගත තත්වයෙන් රට යම් ප‍්‍රමාණයකට හෝ පාලනය වී ඇත්නම් එය සිදුව ඇත්තේ පාලකයින් වේදිකාවල මයික් ඉදිරියේ කරනු ලබන කතාවලින් පමණක් නොව සෞඛ්‍ය කාර්යමණ්ඩල හා ඊට සහය දැක්වූ රාජකාරී ඉටුකළ රාජ්‍ය සේවකයින්ගේ කැපවීම හේතුවෙන් බව අපි අවධාරණය කරමු. ඒ අනුව Covid-19 වසංගතය වැළැක්වීමේ සහය රාජකාරී වල නිරත සංවර්ධන නිලධාරීන්ට ද එම දීමනාව ලබා දීම ආණ්ඩුවේ යුතුකම මෙන්ම වගකිම බවද සඳහන් කරමු.

දීමනා නොගෙවීමට එරෙහිව මූලික පියවරක් ලෙස Covid-19 ට අදාළ දැනට සිදු කරන රාජකාරීවලින් අප්‍රේල් 08 (අද) සිට ඉවත් වන අතර වැඩි දුරටත් විසඳුමක් නොලැබුණහොත් තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීරණය වන බවද වැඩි දුරටත් දන්වා සිටිමු.