නිදහස් මාධ්‍යවේදීයා පැහැරගෙන පහරදීමට එරෙහි විරෝධය

නිදහස් මාධ්‍යවේදීයා පැහැරගෙන පහරදීමට එරෙහි විරෝධය

කම්කරු විරෝධතාවයක් අතරතුරදී පොලිසිය විසින් (07) දින අත්අඩංගුවට ගනු ලැබූ නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් මහතාට අමානුෂික ලෙස පහරදීම හා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම සම්බන්ධව විරෝධය දක්වමින් මරදාන පොලිසිය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවැත්විය.

ඒ මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඊයේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වාර්තා කරමින් සිටියදීය.
ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

මරදාන පොලිසියේ රඳවා සිටින මලික අබේකෝන් මහතා පහරදීමට ලක්ව ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමද සිදුකර නොමැත. එදින රාත්‍රියේ වෘත්තිය සමිති ක්‍රියාකාරින් හා නීතිඥවරයකු මරදාන පොලිසිය වෙත ගියද පොලිසිය විසින් මලික හමුවීමට අවස්ථාවක් ද ලබා දී නොමැති බවද වාර්තා වේ.

වත්මන් පාලනය කම්කරු අයිතිවාසිකම් යටපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් නොතකා මර්දනකාරී පාලනයක් කරා යමින් සිටින බව විරෝධතාවයට එක්ව සිටි පිරිස් පවසති.