කොවිඩ් වසංගතයට මුවාවී සේවක අයිතිවාසිකම් කප්පාදු නොකරනු -වෘත්තීය සමිති දැඩි තීරණයක

කොවිඩ් වසංගතයට මුවාවී සේවක අයිතිවාසිකම් කප්පාදු නොකරනු -වෘත්තීය සමිති දැඩි තීරණයක

කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භවී මාස 6ක් ගතවී ඇති අවස්ථාවක බ්‍රැන්ඩික්ස්  සමාගමෙන් සහ ලෝක බැංකුවෙන් සේවක අයිතිවාසිකම් ආරක්ෂාකරමින් ඒවාට ගරුත්වයක් ලබා දෙන ලෙස නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති හා කම්කරු සංවිධාන විසින් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම හා සම්බන්ධ කරුණු කාරණා සාකච්ඡා කෙරෙන විශේෂ මාධ්‍ය හමුවක් 2021 අප්‍රේල් මස 08 වෙනි දින කොල්ලුපිටිය ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ශාලාවේදී පැවත්විය.

එම අවස්ථාව සඳහා වෘත්තීය සමිති නියෝජනය කරමින් CMU ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහත්මා, ඩාබිඳු සාමුහිකයේ චමිලා තුෂාරි මහත්මිය, අශීලා දන්දෙණිය, චන්ද්‍රා දේවනාරායන යන නිදහස් වෙළෙඳ කලාප නියෝජනය කරන වෘත්තිය සමිති ඉහළ පෙළ නායකයින්  හා මාධ්‍යවේදීන් රැසක් සහභාගි විය.

වෘත්තීය සමිති පෙන්වා දෙන පරිදි බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ කොවිඩ් 19 ව්‍යාප්තියේදී කම්කරු නීති උල්ලංඝනය වීමක් සිදුව ඇත්ද යන්නත් එහි භූමිකාව පිළිබඳව පරීක්ෂණයක් පැවත්වීම සඳහාත් ද්විත්ව සාමාජික කමිටුවක් පත්කරන බවට  කම්කරු අමාත්‍යවරයා  නිවේදනය කර තිබුණි.තවද එම ඇඟළුම් සමාගමට එරෙහිව නොසැලකිලිමත්කම හා සාපරාධී ක්‍රියාකලාපය පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පති වෙත නියම කර ඇතත් එහිදී එක් රැස් කළ මූලික ප්‍රගති වාර්තාවේ සඳහන් කරුණු කිසිවක් ප්‍රසිද්ධ නොකළ බවත් වෘත්තී සමිති නියෝජිතයින්  පැහැදිලි කරන ලදී.

එමෙන්ම එම ආයතනයේ සෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රමවේදයන්හි අඩුපාඩු තිබේද යන්න සොයා බැලීම සඳහා විද්වත් මට්ටමේ ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත්කළ බවටත් එමඟින් අවශ්‍ය පියවර ගනු ඇති බවට නිවේදනය කලත් එවැනි ප්‍රසිද්ධ කිරීමක් සිදු නොවුන බව වෘත්තීය සමිති තරයේ ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් බ්‍රැන්ඩික්ස් කොවිඩ් 19 ව්‍යාප්තිය සමඟ ඇඟළුම් සේවක සේවිකාවන් මහත් අසීරුතාවයන් රැසකට මුහුණ දුන් අතර එහිදී අයිතිවාසිකම් කප්පාදු වීම්,වැටුප් නොලැබීම්,අත්තනෝමතික ලෙස සේවයෙන් ඉවත් කිරීම්,ශ්‍රම සූරා කෑම්, මෙන්ම අනිසි බලපෑම්,ආත්ම ගෞරවයට හානි සිදුකිරීම්,විවේචන හරහාද ඇඟළුම් සේවකයින් අසරණ තත්ත්වයකට පත්කරන ලදී.

මෙම තත්ත්වය ඇතිවී මාස 06කට වඩා කාලයක් ගත වී ඇතත් රාජ්‍ය පාර්ශවයෙන් මෙන්ම ඇඟළුම් ආයතනයෙන්ද පොරොන්දු වූ පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර නොමැති බව මෙහිදී මධ්‍ය වෙත සඳහන් කළේය.

ලෝක බැංකුව විසින් බ්‍රැන්ඩික්ස් සමාගම වෙත ආයෝජන කිරීමට සැලසෙන අවස්ථාවේ වෘත්තීය සමිති ලෙස එහි සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් එහිදී නිදහස් වෙළඳ කලාපීය වෘත්තීය සමිති විසින් කොවිඩ් ව්‍යාප්තිය  පිළිබඳ සේවකයින්ගේ සාක්ෂිද ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවට (IFC) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එහිදී  විසින් බ්‍රැන්ඩික්ස් ආයතනයට ණය ලබා දීමේදී කොන්දෙසි ඉදිරිපත් කරන ලෙසත් වෘත්තීය සමිති ඉල්ලීම්කර තිබේ

මෙම ඉල්ලීම් අතර වෘත්ති සමිති හා සේවකයින්ට සම්බන්ධවීමට ඇති අයිතිය, නිදහස, සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීම කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි වෘත්තීය සමිති මාධ්‍ය වෙත සඳහන් කළේ.