හදිසි දුම්රිය වර්ජනය හදිසියේම අත්හිටුවයි

හදිසි දුම්රිය වර්ජනය හදිසියේම අත්හිටුවයි

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව අද (09) හදිසියේ ආරම්භකර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණයකර තිබේ.

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව හදිසි දුම්රිය වර්ජනයක් ආරම්භකර තිබුණු අතර දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙකු බාහිරින් පත් කිරීම, දුම්රිය මැදිරි අලුතින් නිර්මාණය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම, අලුත්වැඩියාවන් දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් සිදුකිරීම, ඉන්දියාවෙන් ආනයනයකර තිබෙන දෝෂ සහිත දුම්රිය මැදිරි ගෙනඒම අත්හිටුවීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබුණි.
 
 ඉල්ලීම් ඉටුවන තුරු එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත්, එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලායෑමට සූදානමින් සිටින ජනතාවගේ දුම්රිය ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම ගතයුතු බවත් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය.
 
එම වැඩවර්ජනය සඳහා වෘත්තීය සමිති 21ක් ඉදිරියේදී එක්වීමට සූදානමින් ඇති බවද ඉන්දික දොඩංගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
මෙම හදිසි දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම්කර තිබූ සියලු දුම්රිය ගමන්වාර අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන ලදී.
 
කෙසේ වෙතත් අද දිනයේම සවස් කාලයේ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට ක්‍රියා කළ බව දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශයට පත් කළහ.
 
ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් අනුර පීරිස් මහතා, ඒ් පිළිබඳ කියා සිටියේ මෙසේය. 
 
"අපි අද දහවල් 12ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. මීට සති 3කට කලින් අමාත්‍යවරයා, ලේකම්වරයා ඇතුළු බලධාරීන් සියලු දෙනා දැනුවත් කළා, දුම්රිය දෙපාර්තමේන්තුවේ අක්‍රමවත් උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලියක් හා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙක් නොමැතිව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයෙක් යොදවා දුම්රිය ක්‍රියාවලිය අඩපණවීම සම්බන්ධව අපේ තියෙන විරෝධතාවය. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබුණ නිසා අද දහවල් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණ වුණා. අද පස්වරු 4ට අපි කාර්යාල දුම්රිය ධාවනය ආරම්භ කළා. සාකච්ඡාවලින් යහපත් ප්‍රතිචාර නොලැබුණොත් රාත්‍රී 12ට නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා."