රාජ්‍ය බැංකු එක්දින වැඩවර්ජනය අත්හිටුවයි

රාජ්‍ය බැංකු එක්දින වැඩවර්ජනය අත්හිටුවයි

රාජ්‍ය බැංකු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට යොමුවීමට මුලික වූ කරුනු සියල්ලටම පිළිගත හැකි විසඳුම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යංශය හා බැංකු කළමනාකාරිත්වය අනුමැතිය සහ එකඟතාව ලැබී ඇති බැවින් එක්දින සංඛේත වැඩවර්ජනය නැවැත්වන බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

බැංකුවල විශ‍්‍රාම වැටුප් ගැටලූව, බැංකුවලට බඳවා ගන්නා නවකයින්ගේ පුහුණු කොන්ත‍්‍රාත් කාලය වසර දෙකකට සීමා නොකිරීම හා ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ පරිපාලනයේ අක‍්‍රමිකතාවලට විසඳුම් ලබානොදීම යන කරුණු මුල්කරගෙන ලංකා බැංකු සේවක සංගමය දෙමසක් තිස්සේ ගෙනගිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග තීව‍්‍ර කරමින් 2021. 04. 22 වැනි දින එනම් හෙට දින සියලූ රාජ්‍ය බැංකුවල එක්දින සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සංගමය තීරණය කර තිබුණි.

එසේ තිබිය දී 2021-04-20 වැනි දින මුදල් අමාත්‍යංශය සමග පැවති සාකච්ඡුාවේ දී විශ‍්‍රාම වැටුප් ගැටලූව නිරාකරණය කිරීම සඳහා විශ‍්‍රාම වැටුප් සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමිවී ඇති අතර නවක සේවකයින්ගේ පුහුණු කොන්ත‍්‍රාත් කාලය පිළිබඳ ගැටලූවට පිළිගත හැකි විසඳුමක් ද ලබාදී ඇත. එසේම ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ පරිපාලනයේ අක‍්‍රමිකතා පිළිබඳ ගැටලූව නිරාකරණය කිරීම සඳහා නව ප‍්‍රධාන විධායක නිලධාරීවරයෙක් පත් කිරීමට අවශ්‍ය විධිවිධාන සළස්වා ඇත.

එසේම මෙතෙක් කිසිදු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක නොවන බැංකුවලට විශ‍්‍රාම වැටුපක් ස්ථාපිත කිරීම සඳහා යෝජනාවලියක් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් එම බැංකුවල කළමනාකාරිත්වයන් වෙත ලිඛිත උපදෙස් ලබාදී ඇත.

මුදල් අමාත්‍යංශය විසින් ලබාදෙන ලද උපදෙස් පරිදි විශ‍්‍රාම වැටුප් සංශෝධනය කිරීමට හා තවදුරටත් පවතින අඩුපාඩු නිවැරදි කිරිමට ලංකා බැංකුවේ, මහජන බැංකුවේ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කළමනාකාරිත්වයන් වෙතින් මේ වනවිට ලිඛිත එකඟතාව ලබා ගැනීමට ද සංගමය කටයුතුකර ඇත.

ඒ අනුව සංගමය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට යොමුවීමට මුලික වූ කරුනු සියල්ලටම පිළිගත හැකි විසඳුම් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශයෙන් හා බැංකු කළමනාකාරිත්වයන්ගෙන් අනුමැතිය සහ එකඟතාව ලැබී ඇත.

මෙම එකඟතාවන් ක‍්‍රියාත්මක කරවා ගැනීම සඳහා සංගමය කටයුතු කරන අතර එතෙක් මේ දක්වා ක‍්‍රියාත්මක කරන ලද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට සංගමය තීරණයකර ඇත.

ඒ අනුව 2021. 04. 22 වැනි දින සියලූ රාජ්‍ය බැංකුවල ක‍්‍රියාත්මක කිරීමට තීරණයකර තිබූ එක්දින සංකේත වැඩ වර්ජනය අත්හිටුවූ බව නිවේදනය කර සිටිමු.

අප සංගමය විසින් සමස්ත බැංකු සේවක ප‍්‍රජාවගේත්, බැංකු පද්ධතියේත් අභිවෘද්ධිය පිණිස දියත් කරන ලද මෙම දීර්ඝකාලීන වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග සාර්ථකකර ගැනීම සඳහා ලබාදෙන ලද අනුග‍්‍රහය සහ සහයෝගය පිළිබඳව සියලූ මාධ්‍ය ආයතන වෙත සංගමයේ කෘතඥතාව මෙයින් පළකර සිටිමු.