වසංගතයට මුවාවී අයිතීන් පාගා දැමීමට එරෙහි වෙමු - වැඩකරන ජන බලය වෘත්තීය සමිති මධ්‍යස්ථානය

වසංගතයට මුවාවී අයිතීන් පාගා දැමීමට එරෙහි වෙමු - වැඩකරන ජන බලය වෘත්තීය සමිති මධ්‍යස්ථානය

 වසංගතයෙන් රැකෙමු! අයිතීන් රැකගනිමු! වසංගතයට මුවාවී අයිතීන් පාගා දැමීමට එරෙහි වෙමු!

කොවිඩ් ලෝක වසංගත තත්ත්වයක සිට ලෝක කම්කරු දිනය සමරන අද දවස, ලෝකයම වැඩකරන ජනතාව වසංගතයේ පීඩාවන්ට මෙන්ම වසංගතය මුවාවෙන් සිදුවන අයිතීන් කප්පාදුවටද බරපතල ලෙස ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ද එම තත්වය ඉතා හොදින් කැපී පෙනෙන අතර, අපට අද මැයි දිනය සමරන්නට සිදුවී ඇත්තේ ද "මැයි දින අති විශේෂ වසංගත නීති" අපට තරවටු කරමින් සිටින අතර වාරයේදීය.

රට කරවන පාළක පාර්ශවයන්ගේ සියළු ආර්ථික කළමනාකරණ අදක්ෂතාවයන් හේතුවෙන්, කොරෝනාවට අවැසි විද්‍යාත්මක පාළණයක් සිදු කිරීමට වඩා, එදා වේල සොයා ගැනීම ආණ්ඩුවේ කාර්‍ය වී අති අතර, එහි පීඩාව මහ ජනතාව පිට පැටවී ඇත.

වැරදි තීරණ හේතුවෙන් වගවීමක් නැතිවීම හේතුවෙන් නැවත නැවතත් වසංගතය රැලි ලෙස නැගී සිටීම මහ ජනතාවට පීඩාවක් වුවද, තීරණ ගන්නා කල්ලියට එය තවදුරටත් බිස්නස් ඔපොචුනිටියකි. හොඳම තීරණය වෙනුවට, වැඩිම ලාභය ලැබෙන තීරණය ගැනීම සඳහා පාලකයන් කටයුතු කරන්නේ තම ගජමිතුරු ව්‍යාපාරික කල්ලි හරහා ලාභය බෙදා ගැනීමටය. වසංගතය වෙනුවෙන් සිදුකරන සියලු ගනුදෙනු සඳහා ලැබෙන ඊනියා විශේෂඥ උපදේශයේ සිට මිලදී ගැනීම දක්වා සියල්ල ලැබෙන කොමිස් ප්‍රමාණයට අනුව තීරණය වන බව සැවොම දන්නා රහසක් වුවත්, එය පාළකයන් සදහා තිබෙන හොදම විද්‍යාත්මක තීරණය බවට පත්වන්නේ "වසංගතයේ ගසාකෑම" විවිධ වර්ගවල පාළකයින්ගේ සාමුහික ගසා කෑමක් වන බැවිනි. වැරදි තීරණ වල භයානක ප්‍රතිඵල නැති බැරි මිනිසුන්ගේ භුක්තියට යට කෙරෙන වසංගත න්‍යාය, ඇති හැකි අයට එය තවදුරටත් ලාභයක් පමණි.

නැති බැරි මිනිස්සුට පීඩාවක් ලෙසත්, ඇති හැකි එකාට ලාභයක් ලෙසත් ක්‍රියාත්මක වසංගත න්‍යායට එරෙහිව දැනුවත් ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් පෙළ ගැසෙමු!

රවී කුමුදේශ්
කැදවුම්කරු
වැඩකරන ජන බලය වෘත්තීය සමිති මධ්‍යස්ථානය