කොවිඩ් අර්බුදය හමුවේ වුවද මැයි දිනය අමතක  නොකරන්නට නම්!

කොවිඩ් අර්බුදය හමුවේ වුවද මැයි දිනය අමතක  නොකරන්නට නම්!
දිවි පුදා රැකගත් කම්කරු අයිතිවාසිකම් අනුස්මරණය කරමින් මෙන්ම  වැඩකරන පංතියේ සාමූහික බලය විදහාපාන "ජාත්‍යන්තර කම්කරු දිනය" හෙවත් මැයි දිනය අදට යෙදී තිබේ. ගිය වර මෙන්ම අද දිනයේද ලෝක කම්කරු ප්‍රජාව ඇතුළු සමස්ත ලෝ වැසියා දැවැන්ත අර්බුදයකට මුහුණදී සිටියි. ඒ් කොවිඩ් වසංගත තත්ත්වයයි. සමස්ත ලෝකයම අඩු වැඩි වශයෙන් මෙම අර්බුදයට මුහුණදී සිටියදී එහි සෘජු ප්‍රතිවිපාකයන්ට මෙන්ම අතුරු විපාකයන්ටද එකසේ ගොදුරු වී ඇත්තේ වැඩකරන ජනතාවයි. ඒ් ලොව බොහෝ පාලකයින් කොවිඩ් වසංගත තත්ත්වයට මුවාවී වැඩකරන ජනයාගේ ශ්‍රම ශක්තිය තව දුරටත් ම්ලේච්ඡ ලෙස සූරාගෙන කන්නටත්, කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමටත් කටයුතු කිරීම නිසාවෙනි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවටද එකසේ අදාළය. 
 
මේ මොහොත වන විට ලාංකේය වැඩකරන පංතියේ ජනයාට සෘජුව හා වක්‍රව මැයි දින සැමරුම් පවා අහිමි කර තිබේ. එය කොවිඩ් වසංගත තත්ත්වයෙන් අපමණ පීඩා විඳින රටක් වශයෙන් රටේ ජනයාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ තීරණයක් බවට රජයෙන් ප්‍රකාශයට පත් කර ඇත. එය අභියෝගයට ලක් කරන්නට අසීරු වටපිටාවක් නිර්මාණය වී තිබීම ද අප විසින් අමතක නොකළ යුතුය. කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා මෙසේ පවසයි.
 
"කොරෝනා වසංගත තත්ත්වය දඩමීමා කරගනිමින් වෘත්තීය අයිතිවාසිකම් මර්දනය කරන්නට ඉඩදෙන්නට බෑ. කම්කරු පංතිය හැටියට අපට නිරෝධායන රෙගුලාසිවලට යටත්ව, රෝගය පැතිරීම වළක්වා ගනිමින් මැයිදිනය සමරන්නට පුළුවන්. වෘත්තීය සමිති ඇතුළු වැඩකරන පංතියේ සංවිධානවලටත් තමන්ගේ අයිතිය රැකගැනීම උදෙසා මැයි දිනය සැමරීමේ වගකීම තියෙනවා. නිරෝධායන රෙගුලාසිවලට මුල් තැන දෙමින් අනෙකුත් උත්සව සමරන්නට හැකි නම් මැයි දිනයත් සැමරීමට හැකිවිය යුතුයි. ඒ්ත් ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ මැයි දිනය සැමරීම සම්පූර්ණයෙන් මර්දනය කිරීමටයි. ෆේස්බුක් එකේ අදහසක් ප්‍රකාශක කරන කෙනෙක් පවා නිර්ලජ්ජිත ලෙස අත්අඩංගුවට ගැනීමටත්, බොරු චෝදනා නඟා නඩු පැවරීමටත් කටයුතු කරමින් සිටින අවස්ථාවක අපට හිමි අයිතිය අප විසින් පාවා නොදිය යුතුයි. ඒ් නිසාම නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය නොකොට, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරමින් අපි මැයි දිනය සමරනවා"
 
 
ආණ්ඩුවේ මැයි දින තහනම පරාජය කළ යුතුව ඇති බවට පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ඉකුත් සතියේ නිවේදනය කරන ලදී. එහි සම කැඳවුම්කරුවන් වන ලංකා බැංකු සේවක සංගමයේ රංජන් සේනානයක, හා සී.ඒම්.යූ හි  සිල්වෙස්ටර් ජයකොඩි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වූයේද, ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය හමුවේ හා සෑම පැත්තකින් ම ගිණියම්වන ජනතා කෝපය වර්ධනය වන මොහොතක ඊට බියවැදී රජයේ නොහැකියාව වසාගන්නට මේ මැයි දින තහනම යෝජනා කිරීමට කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය යොදාගෙන ඇති බවයි. එකී නිවේදනයේ මෙසේද සඳහන් විය.
 
"ලෝකයේ වැඩ කරන ජනතාව දිවිපුදා දිනාගත් ලෝක මැයි දින සැමරුම, ඊනියා දේශපාලන පක්ෂ නායකයන්ගේ හිමිකමක් නොවන බව පවසන, රාජ්‍ය, අර්ධරාජ්‍ය, බැංකු හා පුද්ගලික අංශයේ රටේ ප්‍රමුඛ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 22න් සමන්විත පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය, ආණ්ඩුවේ මේ මුග්ධ සැළසුම පරාජය කරන්නට පෙරට එන ලෙස සමස්ථ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටී. අවසාන වශයෙන් ආණ්ඩුවේ මැයි දින තහනම නොතකා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම අනිවාර්යයෙන් ම අප සංවිධානය සැළසුම්කර ඇති පරිදි පැවත්වීමට කටයුතු කරන බව තරයේ ප්‍රකාශකර සිටිමු."
 
 
මේ අතර "වැඩබිම" වෙනුවෙන් අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මෙසේ  කියා සිටියේය.
 
" වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීමේ සැලසුම්, පෝට් සිටි කෙටුම්පතේ දැක්වෙන විදිහට සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරන පනත් බල රහිත කිරීමේ උත්සාහයන්, ඇතුළු මේ මොහොතේ කොවිඩ් වසංගතයට මුවාවී ආණ්ඩුව විසින් වැඩකරන ජනයාට සිදුකරන අකටයුතුකම් ගැන පුළුල් විදිහට සාකච්ඡා කරන්නට මෙවර මැයි දිනයේදී අපි කටයුතු කරනවා. අපගේ සේවක, සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් අවධානය යොමුවිය යුතු නිසා බොහෝ ක්‍රියාකාරකම් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා"
 
ලංකා වතු සේවක සංගමයේ සභාපති චතුර සමරසිංහ මෙසේ සඳහන් කළේය.
 
"මෙවර මැයි දිනය ඔන්ලයින් තමා සමරන්න සිදුවෙලා තියෙන්නෙ. රට තුළ පවත්නා වසංගත තත්ත්වය උපුටා දක්වමින් ආණ්ඩුව විසින් අපට මැයි දිනය පවත්වන්නට නොහැකි ලෙස කටයුතු කළා. අප්‍රේල් 19 වන දින පොලිස් මූලස්ථානයේ සාකච්චාවක් කෙරෙනවා. 20 වෙනිදා මෙවර මැයි දිනය පැවැත්වීමට ඉඩ නොදෙන බවට හමුදාපතිවරයා විසින් දිනක් ඇතුළත ප්‍රකාශයක් කරනවා. දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග කරන ලද සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව කියනවා. ඒ්ත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් සමග සාකච්ඡා කරලා වැඩක් නෑ. තීරණයක් ගත යුතු නම් ගත යුතුව තිබුණේ වැඩකරන පංතියේ අය නියෝජනය වන වෘත්තීය සමිති හෝ සංවිධාන සමග සාකච්ඡා කරලයි.  මේක වැඩකරන ජනයාගේ දිනය මිසක් දේශපාලනඥයින්ගේ දිනය නෙවෙයි. නමුත් වාර්තා වන රෝගීන්ගේ ප්‍රතිශතය වැඩි නිසාම අපගේ සහෝදර සේවකයින් සෞඛ්‍ය අවදානමකට දාන්න අපට බෑ. මේ නිසා මැයි දිනය අන්තර්ජාලය හරහා සමරන්න කටයුතු කරන්නෙ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳ අප කිසිසේත්ම සතුටු නෑ. එකඟතාවක් නෑ. 
 
මේ අනුව මෙවර මැයි දිනය වෘත්තීය සමිති ඇතුළු වැඩකරන ජනයා විසින් අමතක කර නැතිවා මෙන්ම ආණ්ඩුවේ පවත්නා කූඨ සැලසුම් පිළිබඳවද ඔවුන් සවිඥානක බැව් පැහැදිලිය. වසංගත තත්ත්වය හමුවේ වුවද, වැඩකරන ජනයාට පවත්නා අභියෝග, ගැටළු, සාකච්ඡා මාර්ගයෙන් මෙන්ම ඇතැම්විට අරගලයෙන් දිනාගත යුතු බැවි අවිවාදිතය. එහෙව් පොදු අභිමතාර්ථයන් උදෙසා වෙන් වෙන්ව වුව පොදු ඒ්කාත්මිකභාවයකින් පවත්නා ඉඩකඩ තුළ හෝ මැයි දින සැමරීමේ උත්සාහය අගය කළ යුතුය. මේ අඳුර දුරලිය හැක්කේ එවන් අධිෂ්ඨානගත මිනිසුන්ගේ ධෛර්යෙන්මය.
 
 
 
-පී.ආර්.  මුතුකුඩආරච්චි