පෝට් සිටි පනත් කෙටුම්පතෙන් කම්කරු අයිතිවාසිකම් කප්පාදුවක්?

 පෝට් සිටි පනත් කෙටුම්පතෙන් කම්කරු අයිතිවාසිකම් කප්පාදුවක්?
පෝට් සිටි පනත් කෙටුම්පතට අනුව 'සේවය අවසන් කිරීමේ පනත' අහෝසි කිරීමට නියමිත බවත්, වැඩකරන ජනයාට බලපවත්වන නීති අණ පනත් ගණනාවක් මෙමගින් අභියෝගයට ලක්වන බැවින් ඒ් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අවධානය යොමුවිය යුතු බව ලංකා වතු සේවක සංගමයේ සභාපති චතුර සමරසිංහ පවසයි.
 
මෙවර මැයි දිනයේදී ඒ් පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුව ඇති බව හෙතෙම කියා සිටියේ 'වැඩබිම' කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින්.
 
එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
 
 
"කොවිඩ් වසංගත තත්ත්වය නිසා විශාල පිරිසකට රැකියා අහිමි වෙලා තියෙනවා. තමන් මෙතෙක් ලැබූ අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා කප්පාදු වෙලා. වෙළඳකලාපය වගේ තැන්වල වැටුප් කප්පාදු වෙලා. දැඩි සෞඛ්‍ය අවදානමක් අරගෙන පවා ඔවුන් තවදුරටත් සේවය කරමින් ඉන්නවා. සේවක ආදායම ගැන ස්ථාවරත්වයක් නෑ. සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරනු පිණිස රජයේ වගකිව යුතු නිලධාරීන්, ආයතන ආදිය තම වගකීම නිසි ලෙස ඉටුකරන බවක් පෙනෙන්න නෑ. පෝට් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති කෙටුම්පතට අනුව සේව්‍ය අවසන් කිරීමේ පනත අහෝසි කරන්න නියමිතයි. ඒ් වගේම වැඩකරන ජනයාගේ වෘත්තීය අයිතිවාසිකම් වලට අදාළ  තවත් අණ පනත් ගණනාවක් මෙම කෙටුම්පතේ සංශෝධනය කෙරෙනවා. ඒ්වා ක්‍රියාත්මක කිරීමේ බලය කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර පෝට් සිටි කොමිෂන් සභාවට දීමේ තත්ත්වයක් යෝජනා කර තිබෙනවා. 
 
දැනටත් මේ අණ පනත් කම්කරු දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙද්දී පවා පවත්නා අඩුලුහුඬුකම්, සේවක දුක්ගැනවිල් ගැන අපට අවබෝධයක් තියෙයනවා. මෙහෙව් තත්ත්වයක පෝට් සිටි කොමිසමට මේවා ක්‍රියාත්මක කරන්නට දෙන්නේ නම් ඒ්වායේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් දකින්නට ලැබෙන්නේම නෑ කියන ඒක තමා පැහැදිලි වෙන්නෙ.  අනිත් අතට මේ කෙටුම්පතේ දැක්වෙන විදිහට අභ්‍යන්තරික නීති සම්පාදනය කිරීමේ බලය මෙම පෝට්සිටි කොමිසමට පැවරෙනවා. ඒ් අනුව දැනට තියෙන කම්කරු අණ පනත් තවදුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳ පවා තාමත් පැහැදිලි නෑ. මේක බරපතළ ගණයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණයක්. සටන් කර දිනාගත් අයිතිවාසිකම් තමා නීති බවට පත්වෙලා තියෙන්නෙ. පෝට් සිටිය ගැන ආණ්ඩුවේ අය කියන විදිහට 80000ක් පිරිසකට රැකියා ලැබෙනවා. මේ රටේ මිනිසුන් භුක්ති විඳින වරප්‍රසාද,  අර්ථසාධකය ඇතුළු වරප්‍රසාද මේ 80,000ට ලැබෙන්නේද නැද්ද යන තීරණය ගැනීමේ බලය පවා පෝට් සිටි කොමිසමට ලැබෙනවා. මෙය ඉතා පැදිලිවම වැඩකරන පංතියේ ජනයාට නීති දෙකක් ක්‍රියාත්මක වීමේ බරපතළ අවදානමක්. 
 
සේවය අහෝසි කිරීමේ පනත අහෝසි වෙනවා යනු සේවකයාගේ රැකියා සුරක්ෂිතභාවය අහෝසි වෙනවා යයි කියන අදහසයි. පුද්ගලික අංශයේ සේවයේ කරන සේවකයෙකුට සිය රැකියාවේ සුරක්ෂිතභාවය තීන්දු වෙන්නේ මෙම සේවය අවසන් කිරීමේ පනත නිසායි. ඒ් නිසා හාමිපුතාට ඔ්න විදිහට කෙනෙකු දොට්ට දාන්න බෑ. මෙම ආවරණය ඉවත් කිරීම යනු වැඩකරන පංතියේ මිනිසුන්ගේ රැකියා සුරක්ෂිතභාවයේ අවසානයේ ආරම්භයයි. මෙම ආයෝජන කලාපයේ අනාගතයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය ගැන අවධානය යොමු කිරීම, මේ මොහොතේ වැඩකරන පංතිය නියෝජනය කරන වෘත්තීය සමිතිවල ප්‍රමුඛ කාරණයක් විය යුතුයි. මෙවර මැයි දිනයේ එය ප්‍රමුඛ සටන් පාඨයක් විය යුතුමයි."