ජනතාව රවටන කොරෝනා ව්‍යාජ ඖෂධ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

ජනතාව රවටන කොරෝනා ව්‍යාජ ඖෂධ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් කොරෝනා ඖෂධ ලෙස හඳුන්වමින් ව්‍යාජ නිෂ්පාදන තහනම් කර වෙළඳපොළෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ

සමස්ත ශ්‍රී ලංකාව තුල ජීවත්වන සියළුම ජනතාව ජාතිය ආගම වයස හෝ තරාතිරම පිළිබඳව කිසිදු බේදයක් නොමැතිව අතිවිනාශකාරී ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස වසංගතයේ බලපෑමට හසුවෙමින් තිබේ. මේ වන විට රෝහල් පද්ධති ධාරිතාවය ඉක්මවා ගොස් ඇත. පහසුකම් වල සීමිත බව හේතුවෙන් කොවිඩ් ආසාදිත යැයි පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව මගින් තහවුරු කරන ලද රෝගීන් පවා දින ගනනාවක් මුළුල්ලේ නිවෙස් වලම තබා තිබේ. දිනෙන් දිනම රෝගීන් සංඛ්‍යාවත්, මරණ සංඛ්‍යාවත් ඉහල යමින් පවතී. ‌මේ නිසා තමන්ගේ ජීවිතය පිළිබඳව අනියත බියක් සැකයක් මෙන්ම අසරණකමක් මහජනතාව තුල මතුවී තිබීම ස්වභාවිකය.

මෙම කොවිඩ් රෝගය ශ්‍රී ලංකා තුලින් හඳුනාගත් මුල් අවස්ථාවේ සිටම, ලෝකය පුරා විවිධ රටවල ජනතාවට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත තත්වයන් පිළිබඳව දැනුවත්ව සිට ලාංකිකයන්, මේ වෙනුවෙන් ඇති ප්‍රතිකාර පිළිබඳව උත්සුක වෙන්නට පටන් ගත් අතර සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳවද උනන්දු විය. රෝග කාරකය වෛරසයක් වීමත්, එහි වෙනස් වන සුළු ස්භාවයත් ව්‍යාප්ත වන වේගයත්, දෛනිකව සිදුවන මරණ ප්‍රමාණයත් හේතුකර ගෙන එය කෙසේ හෝ නතර කිරීම පිළිබඳව වූ මිනිස් අවශ්‍යතාවයට සරිලන වේගයකින් සාර්ථක ඖෂධයක් නිශ්පාදනය කිරීමෙහිලා ලෝක ප්‍රජාවම අසමත්ව තිබේ. නමුත් රාජ්‍යයන් ගනනාවක් ඉමහත් පරිශ්‍රමයන් දරමින් විද්‍යාත්මක පරීක්ෂණ හා නිරීක්ෂණ මත පදනම්ව කිසියම් මට්ටමකට සාර්ථක එන්නත් ගනනාවක් නිපදවා ඇති නමුත් ඒවාද ප්‍රමාණවත් පරිදි මෙරට ජනතාවට ලබා දීමට මේ දක්වා රජය අසමත්ව තිබේ.

මෙසේ ජනතාව තුල මතුව ඇති බිය සැකය හා අසරණභාවය ද්ඩමීමා කර ගනිමින් අවර ගනයේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීමට පුදිගලයන් හා ආයතන කීපයක් කටයුතු කරමින් තිබේ. ජනතාව තුල පාරම්පරික වෙදකම් පිළිබඳව ඇති විශ්වාසයන්ද භාවිතා කරමින් "පැණි" "ගුලි" "දුම් හට්ටි" ආදී විවිධ ස්වරූපයන්ගෙන් පැමිණි මෙම "නිශ්පාදන" මේ වන විට මහා පරිමානයෙන් ජනතාව මුලා කරමින් "පෙති" "කරල්" වැනි බටහිර ඖෂධීය ස්වරූපයන්ගෙන්ද වෙළද පොලට පැමින තිබේ. කිසිදු විද්‍යාත්මක පදනමක් රහිත මෙකී "නිශ්පාදන" ජනතාවට හඳුන්වා දීමේදී සෞඛ්‍ය ඇමතිවරියගේ සිට විවිධ අමාත්‍යවරුන්, විවිධ මාධ්‍ය ආයතන, මෙන්ම වෛද්‍යවරුන්ද ඔවුන්ට ඇති ජනතා විශ්වාසය අවභාවිතා කර තිබේ.

මීට මාස කීපයකට පෙර ජනතාව පොරකමින් භාවිතා කළ අවසානයේ දී මිත්‍යාවක් බව තහවුරු වූ "ධම්මික පැණිය" " රිටිගල පැණිය" "තරංගා පැණිය" "හෙළ සුවය දුම්" මෙන්ම මේ දිනවල 'කරාපිටිය ශික්ෂණ' රෝහල සහ 'ශ්‍රී ලාංකික වෛද්‍යවරයා' යන විශ්වාසය ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් යොදවා ගන්නා "සම්පත් කරල" හෙවත් "MeGha" කරලද එවැනිම අවභාවිතා කිරීම්වලට උදාහරණ වේ.

නමුත් ගැටළුව වන්නේ මෙවැනි ආකාරයේ ජනතාව රවටන, ජනතාවගේ අසරණබව භාවිතා කරන මෙන්ම සමාජයක් විසින් අසීරුවෙන් උපයා ගත් යම් කීර්ති නාමයන් ගිලගන්නා අශිෂ්ඨ ව්‍යාපාරික උවමනාවන් වලට සමාජය ගිල ගැනීමට ඉඩදී බලා සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන්ගේ නිහඬතාවයි. එබැවින් මේ මොහොතේ ශ්‍රී ලංකාව තුල විවිධ නාමකරණයන් භාවිතා කරමින් , කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලෙස ප්‍රකාශ කරමින්, සිදුකරන ලෝකයේ කිසිදු රටක භාවිතයට අනුමැතිය නොදුන්, කිසිදු ආකාරයක විද්‍යාත්මක පරීක්ෂණයකට බඳුන් නොකල සිළුම "නිශ්පාදන" තහනම් කරන ලෙසත් එවැනි උත්සාහයන් ගන්නා පුගලයන් ඉතාමත් ඉක්මනින් නීතියේ රැහැනට හසුකර සුදුසු දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමු.