කොවිඩ් රෝගය පාලනයට ආයුර්වේද රෝහල් පද්ධතිය යොදා ගැනීමට කඩිනම් කෙරේ

කොවිඩ් රෝගය පාලනයට ආයුර්වේද රෝහල් පද්ධතිය යොදා ගැනීමට කඩිනම් කෙරේ

ඇදන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගය පාලනය කිරීම සදහා යොදාගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් අද (06) දින ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය අධිනීතිඥ සිසිර ජයකොඩි මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සහ ආයුර්වේද වෛද්‍යවරුන්  අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති මෙම සාකච්ඡාවේදී වැදගත් තීරණ කිහිපයක් ගනු ලැබීය.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් කරන ලද විමසීමක් අනුව ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන් සදහා අතරමැදි සත්කාර සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබද ලද ධනාත්මක ප්‍රතිචාර අනුව මෙම සාකච්ඡාව පැවැත්විය. ඒ අනුව අමාත්‍යවරියගේ යෝජනාවට ප්‍රතිපත්තිමය වශයෙන් එකගතාවය ලද අතර මේ මොහොතේදී කොවිඩ් රෝගය පාලනය සදහා ආයුර්වේද බටහිර වෛද්‍ය සේවා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡාවට බදුන්විය. රෝගීන්ට අගතියක් නොවන පරිදි තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම අමාත්‍යවරිය විසින් මෙහිදී පෙන්වා දුන් අතර දෙපාර්ශවය එක්ව කටයුතු කිරීමේ ක්‍රමවේදය සකස්කර ගැනීමට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අධීක්ෂණය යටතේ ආයුර්වේද රෝහල් අතරමැදි සත්කාර සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ලෙස භාවිතා කිරීමට මෙහිදී එකගතාවය හිමිවිය.

කොවිඩ් රෝගීන් හැසිරවීම පිළිබදව මූලික පුහුණුවක් ආයුර්වේද වෛද්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වෛද්‍ය නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ආයුර්වේද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගැනීමටත් කොවිඩ් පාලනයට අවශ්‍ය මුලික පහසුකම් ලබාදීමටත් මෙහිදී එකගතාවය හිමිවිය. මෙම මධ්‍යස්ථානවල සිදුකෙරෙන ප්‍රතිකාර පිළිබදවද සාකච්ඡාවූ අතර එහිදී රෝගියාගේ කැමැත්ත මත ආයුර්වේද හෝ බටහිර ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමටද යෝජනා විය.

මෙම කටයුතු ක්‍රමවත් කිරීම සදහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත රාජ්‍ය අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදුන් අතර සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ආයුර්වේද රෝහල් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසද අමාත්‍යවරිය මෙහිදී ඉල්ලීමක් කලාය.

මෙම කටයුතු කඩිනම් කිරීම සදහා රාජ්‍ය අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරියන් දෙදෙනා සමග පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සතියක කාලයක් ඇතුලත අදාල කටයුතු සංවිධානය කිරීමට යෝජනා විය.

කාර්යශූර හෙදකාර්ය මණ්ඩලයක් සිටින ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ වෛද්‍යවරු 2000ක පමණ පිරිසක් සිටින බවත් ඔවුන්ගේ සේවය කොවිඩ් මර්දනය සදහා යොදාගැනීමට යෝජනා වීම පිළිබද අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙහිදී ස්තුතිය පලකරන ලදි. 

මෙම සාකච්ඡාව සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය පිළිබද රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමන් රත්නායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය, ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය එස්.කේ.පී.තරංග යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.