උපාධිධාරින්ගේ ගැටළු විසඳීමට සාකච්ඡා කඩිනම් කරන්න

උපාධිධාරින්ගේ ගැටළු විසඳීමට සාකච්ඡා කඩිනම් කරන්න

උපාධිධාරීන් රැකියා ගත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ලබාදුන් සාකච්ඡාව කඩිනම් කරන ලෙස ඉල්ලා රැකියා විරිහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

 රැකියා විරහිත උපාධිධාරී එකාබද්ධ මධ්‍යස්ථානය විදිහට 2021 අප්‍රේල් 22 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිදුකළ සාකච්ඡාවට අනුව උපාධිධාරීන් රැකියා ගත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති මූලික ගැටලු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා, වගකිවයුතු දේශපාලන නියෝජිතයකු එක්ව අප සංගමයේ නියෝජිතයන් සමග කරනු ලබන සාකච්ඡාවකින් ඊට අදාළ විසඳුම් සොයා ගැනීමට එකඟ විය. ඒ අනුව අප්‍රේල් 30 වන දින හවස දෙකට සියලු පාර්ශවයන් ඒකරාශී කරගනිමින් සාකච්ඡාවක් කිරීමට වෙලාව වෙන්කර තිබිණි. නමුත් ජනාධිපති ලේකම් කාර්‍යාලය මගින් පසුව අප හට දැනුම් දුන්නේ කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා එම සාකච්ඡාව කල් දැමීමට සිදුවන බවයි.

 පවතින ගැටලුකාරී වසංගත තත්ත්වය පිළිබඳ වගකිව යුතු සංවිධානයක් ලෙස අප අවධානයෙන් සිටින අතර එය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටද කටයුතු කරන්නෙමු. අප සංවිධානයක් ලෙස එසේ වගකීමෙන් කටයුතු කරන නමුත් ආණ්ඩුවක් මෙම වසංගතය හමුවේ එසේ වගකීමෙන් කටයුතු කරන්නේදැයි අපට ගැටලු සහගතය අප සංගමයේ සාමාජිකයන් හය දෙනකු සමග සාකච්ඡාවක් ලබා දීමට නොහැකි තරමට වසංගත තත්ත්වය උද්ගත ඇති බව පැවසුවද ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ඒ බවක් පෙනෙන්නට නැත. පාර්ලිමේන්තු සභා වාර කැඳවමින්, lockdown කරන ප්‍රදේශ නැවත විවෘත කරමින්, දේශපාලන උත්සව පවත්වමින්, ආණ්ඩුව කටයුතු කරන්නේ වගකීම් විරහිතව බව අපගේ හැඟීමයි.

 ආණ්ඩුවක් එවැනි වසංගත තත්ත්වයක් හමුවේ වගකීම් විරහිතව කටයුතු කරන්නේනම් රටේ ප්‍රධානම ප්‍රශ්නයක් බවට පත්ව ඇති උපාධිධාරීන්ගේ ගැටළුව සම්බන්ධයෙන් කුඩා නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡාව අවලංගු කිරීම සදාචාර සම්පන්න යයි අප නොසිතන්නෙමු. ජන සමූහයන් ඒකරාශි වන උත්සව හා වෙනත් අවස්ථාවන් ක්‍රියාවට නැංවෙමින් තිබියදී එම සාකච්ඡාව අවලංගු කිරීම යුක්තිසහගත නොවේ යැයි අපගේ විශ්වාසයයි.

 අප රටේ උගත් තරුණ පුරවැසි කණ්ඩායමකට නායකත්වය දෙනු ලබන අප සංවිධානය ආණ්ඩුවෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අප සංවිධානය වෙත ලබාදුන් ඉහත සංයුත්ත සාකච්ඡාව හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන ලෙසයි. ඊට අවශ්‍ය කටයුතු සිදු කිරීමට අවශ්‍ය සහයෝගයක් වෙතොත් අප සංවිධානය විසින් නොඅඩුව ලබා දෙන්නෙමු. මේ නිසා මෙම කරුණු අවධාරණයට ගෙන හැකි ඉක්මනින් අප වෙත සාකච්ඡාවක් ලබා දෙන ලෙස අප ඉල්ලා සිටින්නෙමු.

 ඉහත සාකච්ඡාව සඳහා අප්‍රේල් 22 ජනාධිපති ලේකම් කාර්යාලය සමග කරන ලද සාකච්ඡාවට අනුව ප්‍රධාන කාරණා 06ක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා විය. ඒ අතර

  1. මේ වනවිට ප්‍රධානම ගැටලුව බවට පත්වී ඇති 2020 සිට උපාධිය සමත් උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම හා දින වකවානු තීරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම.
  2. 2020 උපාධිධාරීන් හැටදාහක් රැකියා ගත කිරීමේ දී විවිධ කාරණා හා හේතු නිසා රැකියා අවස්ථාව අහිමි වූ උපාධිධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම.
  3. අවුරුදු හතකට වැඩි කාලයක් උපාධිධාරීන්ට රැකියා ලබා නොදීම නිසාත් උපාධිධාරීන් රැකියාගත කිරීමේ ක්‍රියාවලියේ දී බාහිර උපාධිධාරීන් ලෙස උපාධිධාරීන් පිරිසකට රැකියා අවස්ථාවට අයදුම් කිරීමට අවස්ථාව අහිමි කිරීම නිසාත් වයස් සීමාව 45 ඉක්මවූ උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම
  4. අවුරුදු තුනකට ආසන්න කාලයක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් හත්සියයකට ආසන්න ප්‍රමාණයකට රැකියා අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම.
  5. උපාධිධාරීන් රැකියා ගත කිරීමේ දී ඌන සේවා උපාධිධාරීන් ලෙස නම් කර උපාධියට සුදුසු රැකියාවක් ලබාගැනීමේ අවස්ථාව අහිමි උපාධිධාරීන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම.
  6. මේ වන තෙක් දීර්ඝ කාලයක් තිස්සේ බලයේ සිටින සෑම ආණ්ඩුවක් සමගම උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම සඳහා මහපාරේ අරගල කරන්නට සිදුවීම ඛේදජනකය මේ තත්ත්වය නිමා කරමින් උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබා ලබාදීමේ ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම.

ඉහත සාකච්ඡාව සිදු කිරීම සඳහා ආණ්ඩුවේ අනෙකුත් දේශපාලන කටයුතු පිළිබඳව අවධානය යොමු කරනවා මෙන්ම විශේෂ අවධානයක් යොමුකර ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කර දෙන මෙන් ඉල්ලා සිටිමි.