පොළොන්නරුව රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට අසනීපයි

පොළොන්නරුව රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට අසනීපයි

පොළොන්නරුව මහ රෝහලේ සමස්ත හෙද කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට 13 දින එළඹීමට හෙද කාර්ය මණ්ඩලයෙත්, ජනතාවගෙත් ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

අද වන විට 38000 කට ආසන්න හෙද කාර්ය මණ්ඩලයේ පිරිසක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇතුළු සමස්ත රෝහල් පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා උපරිම කැපකිරීම් කරමින් රාජකාරියේ නිරතව සිටී.

කොරෝනා තත්ත්වය ඉතා බරපතල ලෙස අද වන විට රට පුරා පැතිර යමින් තිබුණද, ආණ්ඩුවත්, සෞඛ්‍ය බලධාරිනුත් ප්‍රතිකාර කටයුතුවල නිරත හෙද හෙදියන් සඳහා කඩිනමින් සලසා දිය යුතු ආරක්‍ෂාව හා අනෙකුත් මූලික පහසුකම් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනුයේ ඉතාමත් මන්දගාමීවය. ඒ තුළ හෙද කාර්ය මණ්ඩලය මෙන්ම රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීනුත් දැඩි අනතුරකට මුහුණ පා සිටී. මේ පිළිබඳ අවස්ථා කිහිපයකදී ආණ්ඩුවටත්, සෞඛ්‍ය බලධාරින්ටත් ලිඛිතව මෙන්ම වාචිකව ද දැනුම් දී තිබේ. ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර නොගැනීම යනු හෙද කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් ද අනතුරකට ඇද දැමීමක් බව අපගේ අදහසයි. එබැවින්, මෙරට තිස්අටදාහක් වූ හෙද හෙදියන්ගේ පොදු පහසුකම් හා ජීවත්වීමේ අයිතිය ආරක්‍ෂා කර ගැනීම හා රෝගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙනුත් පාලකයන්ට දැනවීම සඳහා වූ වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට අප තීරණය කර ඇත.

1. කොරෝනා රෝගීන් ඇතුළු අනෙකුත් සියළු රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටින පළාත් සභා හා මධ්‍යම රජයේ රෝහල්වල හෙද හෙදියන්ට අවශ්‍ය සියලූ පහසුකම් හා ආරක්‍ෂිත මෙවලම් වහා ලබා දෙනු.

2. අඛණ්ඩව සේවා මුරවල නිරත හෙද කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනුමත කර ඇති විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබා දෙනු.

3. ගර්භනි නිලධාරීන් සඳහා රා.පා. අමාත්‍යංශ ලේකම් අනුමත කර ඇති නිවාඩු ගර්භනි හෙදියන්ට ද ලබා දෙනු.

4. පවතින තත්ත්වය හමුවේ හෙද හෙදියන් සඳහා රාජකාරීයට පැමිණිමට පොදු ප්‍රවාහන පහසුකම් ලබා දෙනු.

5. නවක හෙද නිලධාරීන් 2350 ද ඇතුළු වූ රටපුරා රෝහල්වල එන්නත් ලබා නොදුන් සියලූ හෙද හෙදියන්ට
ස්පුට්නික් එන්නත වහා ලබා දෙනු.

6. අවධිමත් හා අනාරක්‍ෂිත ලෙස රෝහල් පරිශ්‍රයන් පුරා කොරෝනා වාට්ටු ඇති කිරීම නවතනු.

7. පෞද්ගලික චැනල් සේවාවන් හරහා රජයේ රෝහල්වලට ඇතුළත් කරන හදිසි නොවන රෝගීන් ඇතුළු කිරීම් හා ප්‍රතිකාර කොරෝනා තත්ත්වය පාලනය වනතුරු නතර කරනු.

ඒ අනුව මෙම ඉල්ලීම්වලට විසඳුම් ලබා ගැනීමටත් දැනට පොළොන්නරුව මහ රෝහල තුළ හෙද කාර්ය මණ්ඩලයට සිදු කරමින් තිබෙන පීඩාවන්ට හා අසාධාරණයන්ට එරෙහිව ආණ්ඩුවටත්, සෞඛ්‍ය බලධාරීන්ටත් අනතුරු හැඟවීමේ පළමු වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙස 2021.05.13 දින උදෑසන 7.00 සිට 2021.05.14 දින උදෑසන 7.00 දක්වා කාලය (පැය 24) තුළ අසනීප නිවාඩු වර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට පොළොන්නරුව මහ රෝහලේ සමස්ත හෙද කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.