කොවිඩ් ආසාධිතව විදුලිබල මණ්ඩලයේ පළමු සේවකයා මිය යයි

කොවිඩ් ආසාධිතව විදුලිබල මණ්ඩලයේ පළමු සේවකයා මිය යයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් කැපවී සේවය කළ ලංකා විදුලිබල මණ්ඩලයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ රියදුරෙකු වූ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් කුරේෂ් මහතා කොවිඩ් 19 වසංගත තත්ත්වයට ගොදුරුවී මියගොස් ඇත.      

මේ පිළිබදව විශේෂ අවධානයක් යොමුකළ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, මරණය සිදුවී පැය කිහිපයක් ඇතුලත දුරකතනයෙන් එම සේවක මහතාගේ පවුලේ ඥාතීන් අමතමින් සිය ශෝකය පළකල අතර ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා පිළිබදවද විමසීමක් සිදුකර තිබේ.  ඒ අනුව මියගිය සේවක මහතාගේ පවුලේ අනාගත ශුභසිද්ධිය වෙනුවෙන් මේ වනවිට තීරණය කර ඇති පරිදි  යැපෙන්නන් වෙනුවෙන්  ලබාදිය යුතු සියලු දීමනා ලබාදීම කඩිනම් කරන ලෙස අදාළ අංශ දැනුවත් කළ අතර ඒ  මහතාගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියා අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.  ඒ අනුව ස්ලාමීය සංස්කෘතික චාරිත්‍රානුකූලව ඔවුන්ගේ වත්පිළිවෙත් අවසන් වීමෙන් පසු මෙම රැකියා අවස්ථාව ලබාදිමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස අමාත්‍යවරයා මේ වනවිට අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. 

මොහොමඩ් කුරේෂ් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයට එක්වී වසර 20 කි.   මියයන විට 40 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙමින්,  පැය 24 පුරාම  සමස්ත දිවයින ආවරණය කරමින් සක්‍රීය සේවාවක් සපයන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සුරක්ෂිතතාවය වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබාදෙමින් එන්නත්කරණය කඩිනම් කිරීම, ආයතනික වාර්ෂික රක්ෂණ ක්‍රමයට  අමතර වශයෙන් රු.ලක්ෂ එකහමාරක් දක්වා වූ විශේෂ වෛද්‍ය පහසුකම් සැපයීම,  ලං.වි.ම. සියලු සංචාරක නිවාස නිරෝධායන මධ්‍යස්ථාන  බවට පත්කිරීම, පිලියන්දල, කලවාන, සමනලවැව, කිංචිගුණේ පිහිටා ඇති ලං.වි.ම. පුහුණු මධ්‍යස්ථාන රෝහල් සහ ප්‍රථිකාර මධ්‍යස්ථාන බවට පරිවර්ථනය කිරීම ආදි වූ ක්‍රියාවලීන් රාශියක් දියත් කිරීමට  විෂයබාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  මේ වනවිටත් පියවර ගෙන තිබේ.