ආයෝජන මණ්ඩලයෙන් කර්මාන්ත ශාලා හිමියන්ට උපදෙස් 

ආයෝජන මණ්ඩලයෙන් කර්මාන්ත ශාලා හිමියන්ට උපදෙස් 
පවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සපයමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්ත ශාලා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිවේදනය කර තිබේ.
 
සියලු කර්මාන්තශාලා පරිපාලනයන්ට ඒ බව දැනුම්දෙන බව එහි සභාපති සංජය මොහොට්ටාල මහතා සඳහන් කර සිටියි.
 
සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය හා නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියේ අනාගත යහ පැවැත්ම පිළිබඳව මෙම අවදානම් අවස්ථාවේ ගැඹුරින් සිතා බැලිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
 
කොවිඩ් සීඝ්‍රයෙන් පැතිරීම ආරම්භ වීමත් සමඟ රෝගීන්ගේ වර්ධනයක්, ඇතැම් කර්මාන්ත ශාලා තුළින් පෙන්නුම් කරන බවත්, එහෙත් මනා පාලනයකින් යුතුව බොහෝ කර්මාන්ත ශාලා ඉතාමත් ප්‍රශංසනීය අයුරින් පවත්වාගෙන යන බවත් ඒ මහතා පවසයි.
 
කම්හල තුළදී පමණක් නොව ප්‍රවාහනයේ දී, නිවසේ දී හා අනෙකුත් සෑම ස්ථානයකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් එම උවදුරින් මිදීමට සියලුදෙනා කටයුතු කරණු ඇතැයිද තමා අපේක්ෂා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 
පසුගිය දින කිහිපය තුළ තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 400ක්, පානදුර සහ බණ්ඩාරගම ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකකින් ආසාදිතයින් 617ක් හා පුඩළුඔය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආසාදිතයින් 108දෙනෙක් හඳුනා ගැණුනි.