සියළු පාර්ශවයන්ගේ යෝජනා සළකා බලන යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න

සියළු පාර්ශවයන්ගේ යෝජනා සළකා බලන යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න

සෞඛ්‍ය සේවාවේ සාමුහිකත්වය බිඳදැමීම සඳහා එක් කල්ලියකට පමණක් උඩගෙඩි ලබා නොදෙන ලෙසත්, සියළු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සහ යෝජනා සළකා බැලීම සඳහා වඩා නිරෝගී යාන්ත්‍රණයක් ස්ථාපත කිරීමට මැදිහත්වෙමින් රටේ මහජනතාව වසංගතයෙන් ගලවා ගැනීම සඳහා ඔබගේ නායකත්වයේ වගකීම ඉටුකරන ලෙසත් ඉතා ඕනෑකමින් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

“ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම” යන ශීර්ෂයෙන් යුතුව නිකුත් කරන ලද සෞඛ්‍ය ලේකම්ගේ අංක MH/Adl.Sec.(Admin I)/01/2021 දරණ 2021.05.10 දිනැති ලිපිය හා බැඳේ

අදාල ලිපිය මඟින් සෞඛ්‍ය සේවාව පිළිබඳව අදහස් දැක්වීමට ඇති අයිතියට බාධා කිරීම සහ සෞඛ්‍ය පරිපාලනයේ දුර්වලතා හෙලිදරව් කරමින් නිවැරදි කර ගැනීමට තිබෙන අවස්ථාවන්ද වලක්වා ඇත.

තවද, වෘත්තීය සමිති සහ වෘත්තීයවේදී ආයතන විසින් සිදු කරන බොහෝ යෝජනා සාකච්ඡා කිරීමට පවා අවස්ථාවක් නොලැබෙන තත්ත්වයක් යටතේ මහජනතාව වෙනුවෙන් එකී වගකීම ඉටුකිරීමට බැඳී සිටින සෞඛ්‍ය වෘත්තිකයන්ටද එමඟින් අනියම් බලපෑමක් සිදු කිරීමට සැළසුම් කර ඇති බව අප වෙත වාර්තා වී ඇත. ඊට තදාසන්නතම නිදසුන වශයෙන් වෛද්‍ය නිළධාරී සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍යට අදහස් දැක්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීම පෙන්වා දිය හැකි අතර ඊට පෙර අවස්ථාවකදී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී ආයතනයේ සභාපතිවරයාට එරෙහිවද එලෙසම විමර්ශනයක් සිදු කර ඇත.

එසේම වසංගතය පාලනය කිරීම සඳහා බාධාවක් වන බව පෙන්වා දෙමින් මෙලෙස මුඛවාඩම් දැමීමට උත්සහකලද එම කරුණු දැක්වීම් හේතුවෙන් වසංගත පාලනය පිළිබඳව ගෙන තිබූ වැරදි තීරණ ගණනාවත් නිවැරදි කිරීමට හැකි වූ බවද පෙන්වා දෙමු. අප වෘත්තීයවේදී ආයතනය විසින් මැදිහත්වී නිවැරදි කරගන්නා ලද එවන් වැරදි තීන්දු කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය සඳහා ඇමුණුම 1 හි සටහන් කොට ඇත.

එසේම, වසංගත පාලනය පිළිබඳව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමටත් ගැටළු විසඳා ගැනීමටත් තාක්ෂණික තීරණ වලදී මැදිහත්වීමටත් බොහෝ පාර්ශ්වයන්ට ඇති ඉඩ අහුරා තොරාගත් කිහිපදෙනෙකු සමඟ පමණක් තීරණ ගැනීම මෙම ගැටළු සහගත තත්ත්වයට මූලික හේතුව වී ඇති බව නැවත නැවතත් පෙන්වා දෙන අතරම බොහෝ වගකිවයුතු පාර්ශ්වයන් සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් හෝ අදාල වගකිවයුතු නිළධාරීයෙකුගෙන් එකඳු සාකච්ඡාවක් හෝ ලැබී නොතිබෙන තත්ත්වයක් යටතේ කථා කිරීමට ඇති නිදහස වාරණය කරමින් වසංගතය පාලනය කිරීමේ සාමුහිකත්වය තවදුරටත් බිඳදමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දක්වා එකී නොසන්සුන්තාවය හා වෘත්තීය අතෘප්තිකරභාවය වර්ධනය කරමින් සිටින බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු. එසේම ජනාධිපති කාර්යය සාධන බලකායේ හා තීරණ ගනු ලබන තාක්ෂණික කමිටු වල රැඳෙමින් කටයුතු කරන, සෑම තාක්ෂණික තීරණයකටම වගකිවයුතු තොරාගත් කණ්ඩායමකට සියළු වරප්‍රසාද ලබා දෙමින් තිබියදීත්, ඔවුන් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විවේචනය කිරීමට ඉඩ හරිමින් සිටියදී හා ඉතා උද්දච්ච ස්වාභාවයෙන් ගනු ලබන වසංගත පාලනය පිළිබඳ ඇතැම් තීන්දු වැරදි සහගත බව පැහැදිලිව තහවුරු වී තිබියදී එකී කමිටු සාමාජිකයන්ගේ වගවීම පිළිබඳව කිසිඳු විමර්ශනයක් සිදු නොකරමින් මෙලෙස අසමාන ලෙස කටයුතු කිරීම සඳහා ආයතන සංග්‍රහය යොදවා ගැනීම බරපතල පරිපාලන විෂමතාවයකි.

ඉහත කරුණු පිළිබඳ ඔබගේ දැඩි සැලකිල්ල යොමු කරන ලෙසත්, සෞඛ්‍ය සේවාවේ සාමුහිකත්වය බිඳදැමීම සඳහා එක් කල්ලියකට පමණක් උඩගෙඩි ලබා නොදෙන ලෙසත්, සියළු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සහ යෝජනා සළකා බැලීම සඳහා වඩා නිරෝගී යාන්ත්‍රණයක් ස්ථාපත කිරීමට මැදිහත්වෙමින් රටේ මහජනතාව වසංගතයෙන් ගලවා ගැනීම සඳහා ඔබගේ නායකත්වයේ වගකීම ඉටුකරන ලෙසත් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.