හොරකමට වැට බැදිය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය, හොරු සමග එකතුවෙලා ජනතාවගේ එන්නත් සොරකම් කිරීම

හොරකමට වැට බැදිය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය, හොරු සමග එකතුවෙලා ජනතාවගේ එන්නත් සොරකම් කිරීම

එන්නත් යණු ගෝලිය වශයෙන් තරගකාරීව ලබා ගත යුතු, ඉල්ලුමට අදාලව සැපයිය නොහැකි ජීවිතය රැක ගැනිම සදහා සෑම මනුෂ්‍යයෙකුටම අත්‍යවශ්‍ය වී ඇති, පාරොභෝජන ද්‍රව්‍යකි. ඒ නිසාම එය ලබා ගැනීම සදසා සෞඛ්‍ය විද්‍යාත්මක අනුපිළිවලෙක් ලොව සියලු රටවල් අනුගමනය කරයි.

එන්නත් විදීමේ ප්‍රමුඛතාවය සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට ලබා දෙණු ලැබුවද, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඊට අදාල බවක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියෙහි හෝ ලෝකයේ වෙනත් රටක් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වල හෝ නැත.

නමුත් 2021.05.24 දින වෘත්තීය සමිති හමුවේ සෞඛ්‍ය අමාත්‍ය වරිය සදහන් කරන අකාරයට සහ ඉහත ප්‍රකාශයට අනූව, අවසන් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දොළොස් දහස වෛද්‍ය වරුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ දෙවන මාත්‍රාව ලෙස වෙන් කිරීමට තීරණය කර තිබේ.

මේ මොහොතේ රටේ අති විශාලම අවධාමට ලක්ව ඇති, මුල් පෙලේ කණ්ඩායම, ගෙවල්වල සිටින වෛදය පවුල් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කරන්නේනම් අප ඊට කලබල වන්නේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණ වලින් 99%ක් සනු ලබානේ වෛද්‍ය වරුන් නිසාත්, තමන්ගේ හැන්දෙන් තමන්ට විතරක් බෙදා ගැනීමට ඔවුන් සූරයන් බව අප දන්නා නිසාත්, අපට එය අරුමයක් නොවේ.

නමුත්, ගැටළුව එය නොවේ. ඔවුන්ම කියන ආකාරයට, මෙලෙස තම පවුල් වලට විදගනු ලබන්නේ දෙවන මාත්‍රාවනම්, පළමු මාත්‍රාව විදගනු ලැබුවේ කෙසේද යන්න පිළිබඳවය. එවන් ප්‍රතිපත්තියක සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නොසිටි බැවින්, එතරම විශාල සංඛ්‍යාවක්, රටේ ප්‍රතිපත්තීයට පටහැනිව, ජනතාවගේ ඇසට වැලි ගසා, එන්නත් හොර පාරෙන් විදගෙන ඇති බවය. එසේ ඇති හැකි අයට සොරකම් කිරීමට ඉඩ හැර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු ලොක්කන් සමග විමර්ශන අංශ බලාගෙන සිටින බවය.

සෞඛ්‍ය ක්‍රමවේදයට අනූව, පැනඩොල් පෙත්තක් හෝ නිමිත කරමවේදයෙන් තොරව පිටත ගෙන යා නොහැකි, එසේ කරන්නට උත්සාහ කල පහල මට්ටමේ සෞඛ්‍ය සේවකයන්ට දඩුවම් කරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය, රටේ නීතියට පිටින් එන්නත් භාවිත වීම කිසියම හේතුවක් නිසා නොසලකා හරිමින් කටයුතු කර ඇත. එපමණක් නොව එම අවභාවිතාවට හවුල් වෙමින්, ඔවුන් සදහා දෙවන මාත්‍රාවක්ද වෙන්කොට දී ඇත. එසේ පළමු මාත්‍රාව හොරකම් කල අනෙකුත් සෞඛ්‍ය කාර්‍යමණ්ඩල සිටීනම්, ඔවුනටද අවස්ථාව ලබාදෙන බව ප්‍රසිද්ද්ධියේ කියන තත්වයකට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇද වැටී තිබේ.

එන්නත් අවභාවිතාව වැලැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් ඇත්නම්, ඊට හොද අවස්ථාවක්ද ලැබී තිබෙන බව ඉතා පැහැදිළිය. ඊයේ සහ අද දවසේ දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් විදගත් අය, තරාතිරම කුමක් වුවද, ඔවුනගේ පළමු මාත්‍රාව විදගත් අකාරය පිළිබඳ සුළු විමර්ෂණයක් සිදු කිරීම මගින්, එන්නත වංචාව, එන්නත්කරණ වැඩ පිළිවෙලෙහි අක්‍රමිකතාවය යන සියල්ල පහසුවෙන් හෙලිදරව් කර ගත හැකිය.

හොරකම්, වංචා දූෂණ නැවැත්වීම ගැන ජනාධිපති තුමාද, සෞඛ්‍ය ලේකම් තුමා ඇතුළු බොහෝ අයද කථා කරන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සිදුවන ආකාරය ගැන අවම තරමින් අවබෝධයක් ලබා ගැනීම සදහා මෙම අවස්ථාව මග නොහරිණු ඇතැයි අප අපේක්ෂා කරමු.

නැවත අපි සිහිපත් කරමු, වෛද්‍ය වරුන්ගේ අතේ තිබුණ හැන්දෙන් ඔවුනගේම පිගානට ඇස්ට්‍රාසෙනිකා සියල්ල බෙදාගෙන අවසන් ය. රටේ සියලු දෙනා වසංගතයට ගොදුරු වූ දවසක, වෛද්‍ය වරු සහ ඔවුනගේ පවුල් සතුටින් ජීවත් වනු ඇත. එහි හිලව්වවට සිනෝෆාම් සෞඛ්‍ය පවුල්වලට බෙදා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම්ය.

රටම අසරණ වූ මොහොතක, ඔවුන් සුව විරුවන් පසු පස්සේ යන මොහොතක, අපි අපේ පවුල් රකින සටනකට තල්ලු කර ඇත. හිරිකිතය. එන්නත් ප්‍රමුඛතාවය සදහා, සෞඛ්‍ය සේවාට මුලතැන දී ඇත්තේ රට ගලවා ගැනීමට එය අවැසි නිසාය. ඒසේ නොමැතිව මෙලෝ තලයේ අවසන් ජිවියා ලෙස සෞඛ්‍ය පවුල් ටික ඉතිරි කර ගැනීමට නොවේ. අපේ අතේ හැනද තිබුණ පලියට, අපේ පිගානට බෙදා ගැනීමට ද නොවේ.

සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට ජනතාව කෙල ගැසීමට පෙර මේ ගැන හිතන එක, සෞඛ්‍ය සේවාවේ අපි හමෝගෙම වගකීමක්!

රවී කුමුදේශ්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය