සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කර සේවක ඉල්ලීම් මර්දනයට විරෝධය

සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කර සේවක ඉල්ලීම් මර්දනයට විරෝධය

සෞඛ්‍ය සේවකයන්ට කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පහසුකම් ලබා නොදී මේ ආකාරයෙන් ඔවුන්ගේ වෘත්තීය අරගලය මර්දනය කිරීම සම්බන්ධයෙන් වැඩකරන ජන බලය ලෙස අප දැඩි විරෝධය පළ කරන බව වැඩකරන ජනබලය වෘත්තීය සමිති එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කෝවිඩ් 19 වසංගත තත්වය තුළ දැඩි අවදානමකට ලක්වෙමින් රෝගීන් සමග ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයන්ය. එහෙත් ඔවුන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැත. මේ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ද සැලකිය යුතු පිරිසකට මේ වන විට කෝවිඩ් 19 ආසාදනය වී ඇත.

මේ තත්වය මත හෙද, පරිපූරක වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 24 ක් ඒකාබද්ධව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට බලකිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ප‍්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව ඊයේ (2021.06.03) දින පෙ.ව. 7.00 සිට 12.00 දක්වා පැය 5 ක් සෞඛ්‍ය සේවකයන් සේවයෙන් බැහැරවීමට කටයුතු කර තිබුණි.

එසේම සෞඛ්‍ය සේවකයන් පිරිසක් මේ වන විට තම ඉල්ලීම් වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක ද නිරත වෙමින් සිටී.

එසේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ප‍්‍රකාශයට පත්කර තිබියදී 2021 ජුනි 02 දිනැති 2230/9 අංකයෙන් යුතු අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත. කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂාවීමට ක්ෂේත‍්‍ර ගණනාවක් විසින් එන්නත් ඉල්ලා සිටීම හා ග‍්‍රාම නිලධාරීන් විසින් එන්නත් ලබාදෙන ලෙස බලකරමින් වැඩවර්ජනයක් දියත් කළ අවස්ථාවේද මේ ආකාරයෙන්ම එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමට කටයුතු කරන ලදී. ඒ හේතුවෙන් එන්නත් නොලබාම ග‍්‍රාම නිලධාරීන්ගේ වැඩවර්ජනය නතර කෙරුණි.

වසර එකහමාරකට වැඩි කාලයක් මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය තුළ තම සේවාවන් අඛණ්ඩ සිදු කිරීමට සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල දැඩි කැපවීමකින් කටයුතු කළ අතර, සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි. ඒ තත්වය තුළ පැහැදිලි වන්නේ හදිසියේ මෙලෙස සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා කිරීම ඔවුන්ගේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය මර්දනය සඳහාම කරන ලද්දක් බවයි.

වෘත්තීය කි‍්‍රයාමාර්ග මර්දනය සඳහා යොදා ගත හැකි ප‍්‍රබලතම කි‍්‍රයාමාර්ගය වී ඇත්තේ එම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමයි. තම සේවාවන්ගේ කටයුතු කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය සේවකයින් විසින් ඉල්ලා සිටින විට එම ක‍්‍රමවේදය භාවිතා කරමින් ඔවුන්ගේ වෘත්තීය කි‍්‍රයාමාර්ග මර්දනය කිරීම බරපතල කනගටුදායක තත්වයකි.

සෞඛ්‍ය සේවකයන්ට කෝවිඞ් 19 වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පහසුකම් ලබා නොදී මේ ආකාරයෙන් ඔවුන්ගේ වෘත්තීය අරගලය මර්දනය කිරීම සම්බන්ධයෙන් වැඩකරන ජන බලය ලෙස අප දැඩි විරෝධය පළ කර සිටිමු.