මාරාන්තික වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා පහසුකම් ඉල්ලා සටන් වදින අවස්ථාවේ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය යයි ජනාධිපතිවරයා හදිසියේ නියෝග පැනවීම මර්දනීය ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙන වෘත්තිය සමිති එයට දැඩි විරෝධය පළ කර තිබේ.
කෝවිඩ් 19 වසංගත තත්වය තුළ දැඩි අවදානමකට ලක්වෙමින් රෝගීන් සමග ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයයි.
එහෙත් ඔවුන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැති බවයි වැඩ කරන 'ජන බලය' සංවිධානය පවසන්නේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ද සැලකිය යුතු පිරිසකට මේ වන විට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.
මේ තත්වය මත හෙද, පරිපූරක වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 24 ක් ඒකාබද්ධව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට බලකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව ජුලි 3 බ්‍රහස්පතින්දා පෙ.ව. 7.00 සිට දහවල් 12.00 දක්වා පැය 5 ක් සෞඛ්‍ය සේවකයන් සේවයෙන් බැහැරවීමට කටයුතු කර තිබුණි.
එසේම සෞඛ්‍ය සේවකයන් පිරිසක් මේ වන විට තම ඉල්ලීම් වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක ද නිරත වෙමින් සිටින බවයි වැඩ කරන ජන බලය සංවිධානය පවසන්නේ.
'ජන බලය' සංවිධානය චෝදනා කරන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මර්දනය කිරීමේ අදහසින් ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා ඇති බවයි.
"එසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත්කර තිබියදී 2021 ජුනි 02 දිනැති 2230/9 අංකයෙන් යුතු අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත. "

ජනාධිපතිවරයා මීට ඉහතදී ඒ ආකාරයෙන්ම කටයුතු කළ අවස්ථාවක්ද 'වැඩ කරන ජන බලය' ජුනි 3 බ්‍රහස්පතින්දා නිකුත් ක
ළ මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
"කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීමට ක්ෂේත්‍ර ගණනාවක් විසින් එන්නත් ඉල්ලා සිටීම හා ග්‍රාම නිලධාරීන් විසින් එන්නත් ලබාදෙන ලෙස බලකරමින් වැඩවර්ජනයක් දියත් කළ අවස්ථාවේද මේ ආකාරයෙන්ම එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමට කටයුතු කරන ලදී. ඒ හේතුවෙන් එන්නත් නොලබාම ග්‍රාම නිලධාරීන්ගේ වැඩවර්ජනය නතර කෙරුණි."

වසර එකහමාරකට වැඩි කාලයක් මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය තුළ තම සේවාවන් අඛණ්ඩ සිදු කිරීමට සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල දැඩි කැපවීමකින් කටයුතු කළ අතර, සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුන බවයි වැඩ කරන ජන බලය පවසන්නේ.
"ඒ තත්වය තුළ පැහැදිලි වන්නේ හදිසියේ මෙලෙස සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා කිරීම ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය මර්දනය සඳහාම කරන ලද්දක් බවයි."
වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය සඳහා යොදා ගත හැකි ප්‍රබලතම ක්‍රිරයාමාර්ගය වී ඇත්තේ එම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීම යැයි සදහන් කරන වෘත්තිය සමිති නායකයන් තව දුරටත් අවධාරණය කරන්නේ තම සේවාවන්ගේ කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය සේවකයන් විසින් ඉල්ලා සිටින විට එම ක්‍රමවේදය භාවිතා කරමින් ඔවුන්ගේ වෘත්තීය ක්‍රිමාර්ග මර්දනය කිරීම බරපතල කනගටුදායක තත්වයක් බවයි.
සෞඛ්‍ය සේවකයන්ට කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පහසුකම් ලබා නොදී මේ ආකාරයෙන් ඔවුන්ගේ වෘත්තීය අරගලය මර්දනය කිරීම ජොස්ප් ස්ටාලින්, රවී කුමුදේශ්, ජගත් ගුරුසිංහ සහ චින්තක බණ්ඩාර යන වෘත්තිය සමිති නායකයන්ගේ අත්සනින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය මගින් දැඩි විරෝධය පළ කර තිබේ.
සුවවිරු සටන
වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙන් යාපනය, මඩකලපුව, අනුරාධපුර, පේරාදෙනිය, කළුබෝවිල, කරාපිටිය සහ රත්නපුර යන ශික්ෂණ රෝහල් හා මහනුවර ජාතික රෝහල මෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජුනි 03 වැනිදා උදෑසන හතේ සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වීමටත්, මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලු එදින රෝහල් ඉදිරිපිට දහවල් 1200 සිට 12.30 දක්වා නිහඬ විරෝධතාවයක් පැවැත්වීමටත් වෘත්තිය සමිති විස්සකට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව කටයුතු කර තිබුනි.
ඒ පහත ඉල්ලීම් 15 දිනා ගැනීම වෙනුවෙනි.
(ද ලීඩර්)



