චක්‍රලේඛ නීති කඩා ගැබිණි හෙදියන් සේවයට කැඳවලා

චක්‍රලේඛ නීති කඩා ගැබිණි හෙදියන් සේවයට කැඳවලා

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගර්භනී හෙදියන් සේවයට කැදවීම වලක්වන ලෙසට ඉල්ලා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ, වසංගත රෝග පාලන හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු රජයේ සියළු වගකිව යුත්තන් වෙත සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ සඳහන් වන්නේ,

2021. 05. 10 දිනැති අංක 02/2021(11) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සියළු ගර්භනී කාන්තාවන්ට වැටුප් සහිත නිවාඩු ලබාදී ඇත. එසේම පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගැබිනි මව්වරුන් කීපදෙනෙකුම ජීවිතයෙන් සමුගත් බව අප සියළු දෙනාම
දන්නා සත්‍යකි.

නමත් කොවිඩ් වසංගත තතත්වය හමුවේ ඉදිරිපෙල නියමු කාර්යභාරයක් ඉටුකරන හෙද කාර්ය මණ්ඩලයට අයත් ගර්භනී හෙදි නිලධාරිනියන්ට එම අවස්ථාව හිමි වූයේ නැත. මෙම අසාධාරණය පිළිබදව අප සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇත.

සිදුකරන ලද ඉල්ලීම්වලින් ප්‍රතිඵලයක් නොලැඹුනු තැන අප සංගමය 2021. 05. 31 දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත හෙද හෙදියන් මෙහෙයවූයෙමු. ඉන් අනතුරුව 2021. 05. 31 දිනැතිව සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව ගර්භයට මාස 06 ට අඩු ගර්භනී හෙද නිලධාරිනියන් සේවයට කැදවා රෝහල්වල‍ෙකොරෝනා රෝගීන් නොමැති ඒකකවල සේවයට යොදවන ලෙස දැනුම් දී ඇත.

අප දන්නා පරිදි මේවනවිට සියළු රෝහල්කොරෝනා අවධානමට ලක්ව ඇති අතර සෑම වාට්ටු හා ඒකකයකින්ම කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබේ. එම තත්වය හමුවේ ගර්භනී හෙදියන්ට රෝහල් වාට්ටු ඉතා අවධානම් ස්ථාන බවට පත්ව ඇත.

එවන් තත්වයක් හමුවේ සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම තීරණය මාතෘත්වයට කරන ලද නිග්‍රහයක් ලෙස අප දකින අතර කාන්තා මහජන නියෝජිතවරියන් ලෙස මෙම අසාධාරණ ක්‍රියාවට විරුද්ධව මැදිහත් වී එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමු.