රාජ්‍ය සේවකයින්ට දුන් පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ලයි

රාජ්‍ය සේවකයින්ට දුන් පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ලයි

Covid-19 යටතේ රජයේ ඇමතිවරුන් හා රාජ්‍ය බලධාරින් සමග රජයේ නිලධාරීන්ට සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමේ වැඩ පිළිවෙල කඩිනමින් දියත් කරන ලෙස ඉල්ලා සිටිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

2021 මැයි 27 දින රාත‍්‍රී 7.00 ට රජයේ ඇමතිවරුන් හා ඔබතුමා ද සහිත රාජ්‍ය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ තීරණය හා බැඳේ.

Covid-19 වසංගත තත්වය හමුවේ මේ මොහොත වනවිටත් ක්ෂේත්‍ර රාජකාරී හා කාර්යාලගත රාජකාරීවල නියුතුව සිටින සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා විධිමත්ව වැඩ පිළිවෙලක් යටතේ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමට බොහෝ දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්‍රියාත්මක වී නොමැති බව ලබා ගත් තොරතුරු අනුව දන්වා සිටිමු.

සෞඛ්‍යාරක්ෂිත උපකරණ හා එන්නත් ලබා නොදීමට එරෙහිව ක්‍රියාත්මක වූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හමුවේ 2021.05.27 දින පැවති සාකච්ඡාවේ දී අදාළ සෞඛ්‍යාරක්ෂිත උපකරණ අදාළ ක්‍ෂේත්‍ර නිලධාරීන්ට කඩිනමින් ලබා දීමට තීරණය වුණි. එම තීරණයට ස්වදේශ කටයුතු ලේකම්වරයා ලෙස ඔබතුමා ද එකඟ වුවත් මේ දක්වා සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබා දීම සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සංවර්ධන නිලධාරීන්, අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්, වසම තුළ හඳුනාගත් කොරෝනා රෝගීන් සති 02 ක් පුරා අධීක්ෂණය කිරීම, තොරතුරු වාර්තා කිරීම, දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, රු.5000/-බෙදීමේ රාජකාරී සඳහා ක්‍රියා කිරීම ඇතුළ Covid-19 යටතේ වන රාජකාරී ඉටු කරන අතර වසම්වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ රාජකාරි ද මේ අවධානම් තත්වය යටතේ සිදු කිරීමට ඔවුන්ට සිදුව ඇත.

2. Covid-19 ට අදාළ රාජකාරීවල නිරතවන සියලූම සංවර්ධන නිලධාරීන්ට අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ට අවශ්‍ය කරන ආරක්ෂිත ඇඳුම් කට්ටලයක්, අත් වැසුම්, මුඛ ආවරණ හා මුව ආවරණ මෙන්ම විෂබීජ නාශක දියර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විධිමත්ව කඩිනමින් ලබා දීමට සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස ඉල්ලමු.

3. මෙම අවධානම් තත්වය යටතේ රාජ්‍ය සේවකයෙකුගේ ජනතා යුතුකම හා සමාජ වගකීම ඉටු කිරීමට අප සියලූ දෙනා කැමැත්තෙන් සිටින නමුතCovid-19 වෛරසයෙන් මිදීම සඳහා අවම සෞඛ්‍යාරක්ෂිත උපකරණ නොලැබුණහොත් අදාළ රාජකාරී ඉටු කිරීම අවධානම් බවත්, එය මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනි බවත්, එවැනි තත්වයන් මත අදාළ රාජකාරී සාමාන්‍ය පරිදි ඉටු කිරීමට නොහැකි වන බවත්, ඊට අදාළ වගකීම් ආණ්ඩුව හා අදාළ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ආයතන ප්‍රධානීන් භාරගත යුතු බවත් දන්වා සිටිමු.