නවක වෛද්‍යවරුන්ට කොවිඩ් රෝගී සත්කාරවලට පෙර මෙම පහසුකම් සපුරන්න

නවක වෛද්‍යවරුන්ට කොවිඩ් රෝගී සත්කාරවලට පෙර මෙම පහසුකම් සපුරන්න

පූර්ව සීමාවාසික නවක වෛද්‍ය නිළධාරීන් කොවිඩ් මර්ධන රෝගී සත්කාර කටයුතු පිළිබඳව දැනුම සහිත වුවත් අවම අත්දැකීම් ප්‍රමාණයක් සහිත බැවින් ඔවුන්ගේ සේවය ලබා ගැනීමේදී ඔවුන් වෙත පහත පහසුකම් වහාම සැපයීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක TCS/General/Covid’2021 හා 2021/05/26 දිනැති ලිපියට අනුව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් නිකුත්කර ඇති 03/06/2021 දිනැති Attachment of Pre interns to assist Covid- 19 control field work ලිපියට අනුව නවක වෛද්‍යවරුන් දොළොස් දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් පාලන ක්ෂේත්‍ර රාජකාරි සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට යෙදවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව දන්වා තිබේ.

අදාල පූර්ව සීමාවාසික වෛද්‍ය නිලධාරීන් රෝගී සත්කාර කටයුතු පිළිබඳව දැනුම සහිත වුවත් අවම අත්දැකීම් ප්‍රමාණයක් සහිත බැවින් ඔවුන්ගේ සේවය ලබා ගැනීමේදී ඔවුන් වෙත පහත පහසුකම් වහාම සැපයීමට කටයුතු කළ යුතුය.

1) පෞද්ගලික ආරක්ෂක උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය උපකරණ හිඟයකින් තොරව සැපයීම.
2) බෝවන රෝගයක් සමග කටයුතු කිරීමේ අත්‍යාවශ්‍ය ප්‍රමාණවත් පුහුණුව කඩිනමින් ලබා දීම.
3) ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙලක් සැකසීම.
4) අදාල මාසික දීමනාව ගෙවන ආකාරය පිළිබඳව සහතික කිරීම.
5) ඔවුන්ට සහ ඔවුන්ගේ නිවැසියන්ට කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 02 ම සම්පූර්ණ කිරීම.

ඉහත කරුණු පිළිබඳව අප සංගමය නිරන්තරව අවධානයෙන් සිටින බවත් මෙම රාජකාරී පැවරීමට පෙර මෙම අවශ්‍යතා සම්පූර්ණ කරන ලෙසත් දැඩි ඕනෑකමින් ඉල්ලා සිටිමු.