ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමිය අනිවාර්ය නිවාඩු යවයි

sri-lanka-port-authoriy-medical

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමිය වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින සිට (2021. 06. 10) අනිවාර්ය නිවාඩු යවා ඇති බවත්, ඊට ආසන්නතම හේතුව වශයෙන් වෘත්තීය සමිති නායකුගේ මුහුණ පොතෙහි පලකර ඇති ප්‍රකාශයටකට බවක්ද යන්නද එසෙත් නැත්නම් වෙනත් හේතුවක්ද යන්න සොයා බලන ලෙස සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් දක්වන පරිදි, නිල වශයෙන් අනාවරණය කර නැතත් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතාගේ මුහුණු පොතේ (2021. 06. 09) දින පලකරන ලද පෝස්ටුවකට අනුව ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමිය විසින් හොර පාරෙන් 230 කට එන්නත් කර ඇති බවත් ආයතනය වෙනුවෙන් කැපවෙන සේවකයින්ගේ බිරිඳට, දරුවන්ට, අම්මට තාත්තට ලබාදීම ප්‍රතික්ෂේප කල බවට හැඟවෙන ප‍්‍රකාශයක් සිදුකර ඇත.

  1. එම ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයකි. ඇස්ට්‍රාසෙනිකා එන්නත්වල Astrazeneca vaccines හිඟයක් හේතුවෙන් දෙවැනි මාත්‍රාව ලබා දීම බරපතල ගැටලූවක්ව පවතින මොහොතේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමිය විසින් 230 කට හොරපාරෙන් එම එන්නත ලබා දුන්නා නම් එය බරපතල කරුණකි,
  2. එසේම වරාය සේවකයින්ගේ දෙමව්පියන්, බිරින්දෑවරුන් හා දරුවන්ට එම එන්නත ලබාදිය යුතුය යන්න අපගේද ස්ථාවරය වේ. එය අනුමත වී ඇත්නම් ඔබගේ මැදිහත්වීම අප වරාය සේවකයින් වෙනුවෙන් අගය කර සිටිමු,
  3. ඒ අනුව වරාය සියලූ සේවකයින්ට ඒ බව දන්වා කඩිනමින් එම වැඩපිළිවෙල දියත් කරන ලෙසත් ඊට එරෙහිවන අයෙක් වේ නම් ඔහුට හෝ ඇයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.
  4. අප විසින් මෙම සිදුවීම පිළිබඳව කරුණු සොයා බැලූ අතර වරාය ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමිය නියමිත පටිපාටිය අනුව නීත්‍යානුකූලව කටයුතු කර ඇති බවට අප වෙත තොරතුරු වාර්තා වේ.
  5. කෙසේ වෙතත් සත්‍ය අසත්‍යතාව විධිමත් පරීක්‍ෂණයක් අවසානයේ තහවුරු කර ගත හැක. අප කිසිවෙකුට සුදු හුණු ගාන්නේ හෝ මඩ ගහන්නෙ නැත. වරාය සේවකයින් වෙනුවෙන් හා මහජනතාව වෙනුවෙන් මෙම සිදුවීම සම්බන්ධව කඩිනමින් දැනට පවතින තත්වය රටට හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටිමු. එසේම වැක්සීන් ක්‍රියාවලියට අදාලව සිදුකරණ පරීක්‍ෂණය අපක්‍ෂපාතීව හා සාධාරණව සිදුකරන ලෙසත් අවශ්‍ය වේ නම් ඊට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා ලෙසත් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

තවද වරාය සේවකයින්ගේ බිරිඳ, ස්වාමි පුරුෂයින්, අඹු දරුවන්, දෙමව්පියන් වෙත එන්නත ලබාදීම කඩිනමින් සිදුකරන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.