සමාජයේ කවර තරාතිරමේ අයෙක් වුවත් සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුයි

health-education-association

කලාකරුවන් ,මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් ,වෘත්තිකයන්,රජයේ නිලධාරීන් ඇතුළු සියළු පාර්ශ්ව මාධ්‍ය වැඩසටහන්, සාකච්ජා හා ප්‍රවෘත්ති සාකච්ජා වැනි අවස්ථාවලදී නිවැරදිව මුව ආවරණ පැලඳීම දුරස්ථ භාවය පවත්වාගැනීම සිදුකර මහජනතාවට ආදර්ශයක් වන හැසිරීමක් ප්‍රදර්ශනය කිරීම  අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කෙරේ.

සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි කොවිඩ් -19 නව ප්‍රභේදයක් (Delta)රටතුල හදුනාගෙන ඇති මේ මොහොතේ රෝග ව්‍යාප්තිය අවම කිරීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම පිලිපැදීම අත්‍යවශ්‍ය බවත්, එම අවශ්‍යතාව දැඩිව මතුවී තිබෙන මේ තීරණාත්මක මොහොතේ පවා ඇතැම් පුද්ගලයින් හා ආයතන එම පිළිවෙත් අනුගමනය නොකරමින් මහජනතාවට වැරදි ආදර්ශ සපයමින් සිටින බව නිරීක්ෂණය වේ.විශේෂයෙන්ම සමහර ප්‍රසිද්ධ පුද්ගලයින් මාධ්‍ය වැඩසටහන්, සාකච්ජා හා ප්‍රවෘත්ති සාකච්ජා වැනි අවස්ථාවලදී නිවැරදිව මුව ආවරණ නොපැලඳීම හා නිසිපරිදි දුරස්ථ භාවය පවත්වා නොගෙන කටයුතු කිරීම නිසා වැරදි පණිවුඩයක් සමාජගත වන බව පෙනේ.මීට අමතරව කිහිප දෙනෙක් එක්ව රූපරාමුවල සිටින  යූ ටියුබ් හා ෆේස් බුක් ආදී සමාජ මාධ්‍ය ප්‍රචාරයන්හිද මේ තත්වය දක්නට ඇත.

ඒ අතර සමහර පාර්ශ්ව මුව ආවරණ (Mask)වෙනුවට මුහුණු ආවරණ (Face Shield ) පමණක් පැලඳ වායු සමනය කල සංවෘත මැදිරි තුල අන් අයටද අවදානමක් ඇති කරමින් හැසිරෙති. අවශ්‍ය නම්  මුව ආවරණ (Mask) පැලඳ ඒ සමගම මුහුණු ආවරණ (Face Shield) පැලඳීම කල හැකිය. එසේ නොමැතිව මුහුණු ආවරණ (Face Shield) පමණක් පැළදීම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරන, නිරෝධායන නීති හා මාර්ගදේශ අමු අමුවේම උල්ලංඝනය කරන, නීති විරෝධී, අනුවණ ක්‍රියාවක් බවද ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.එබැවින් මේ වැරදි හා මහජනතාව නොමග යවන සුළු හැසිරීම් රටාවෙන් මිදෙන ලෙස අදාල සියළු පාර්ශව වලින එම සංගමය කාරුණික ඉල්ලීමක් කරයි.