කොතලාවල විද්‍යාපීඨ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගී ජීවිත අනතුරේ බවට චෝදනාවක්

කොතලාවල විද්‍යාපීඨ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගී ජීවිත අනතුරේ බවට චෝදනාවක්

දැඩිසත්කාර පුහුණුව නොමැති හෙද නිළධාරීන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලේ දැඩිසත්කාර ඒකකවලට යෙදවීමෙන් රෝගී ජීවිත අනතුරේ හෙළන බව සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයට අනුව, මේවන විට කොරෝනා රෝගීන්ගේ සීඝ‍්‍රවැඩිවීම රෝහල් පද්ධතියට දැඩිව බලපා තිබේ. ඒ හමුවේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන වාට්ටු හා ඒකක සෑම රෝහලකම පවත්වාගෙන යාමට සිදුව තිබේ. බොහෝ රෝහල්වල වාට්ටු කිහිපයක් හෝ සම්පූර්ණ රෝහල කොරෝනා රෝගීන්ට වෙන් කර ඇත. ඒතුළ දැඩිසත්කාර ඒකක විශේෂ නිරීක්ෂණ වාට්ටු, අතරමැදි ප්‍රතිකාර වාට්ටු හා සාමාන්‍ය කොරෝනා රෝගී වාට්ටු පවත්වාගෙන යනු ලබන අතර එම සෑම ස්ථානයකටම හෙද හෙදියන්ගේ සේවාව අත්‍යවශ්‍ය වී තිබේ.

කොවිඩ් නිවුමෝනියා තත්වයක් රටතුළ පැතිරෙන බවට විද්‍යාත්මක සාක්ෂි ලැබී තිබූ අතර ඊට සූදානම්වීමට අවශ්‍ය තරම් කාලයක් ද තබුණි ආණ්ඩුවේ ප්‍රධානීන් කොරොනා අවධානම නොසලකා කටයුතු කළ බව සත්‍ය වුවද මෙරට සෞඛ්‍ය බලධාරීන්ට ඒ සඳහා සැලසුම් සහගත ප‍්‍රතිකාර වැඩපිළිවෙලක් සාදා ගැනීමට ඉඩකඩ ඉතා හොඳින් තිබුණි.

කොවිඩ් නිවුමෝනියා තත්වයක දී දැඩිසත්කාර ඇදන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බවට හඩ නැගූ ආණ්ඩුවත් සෞඛ්‍ය බලධාරීනුත් එවැනි මොහොතක දී දැඩි සත්කාර ඒකක සඳහා අවශ්‍ය වන පුහුණු හෙද නිළධාරීන් සූදානම් කිරීමට සැලැසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහ. අවම තරමින් තොරාගත් හෙද නිළධාරීන් පිරිසකට කොවිඩ් නිවුමෝනියා තත්වයේ පසුවන රෝගීන්ට ලබාදිය යුතු හෙද සාත්තුව පිළිබදව මූලික දැණුමක් හෝ ලබා දීමට කටයුතු කළේ නැත.

මේවන විට වැඩිවෙමින් පවතින කොවිඩ් නිවුමෝනියා තත්වයට ගොදුරු වන රෝගීන්ට දැඩිසත්කාර ඇදන් අවශ්‍ය වෙමින් තිබේ. ඒ වෙනුවෙන් ආරම්භ කළ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ඇදන් 38කින් සමන්විත දැඩිසත්කාර ඒකක 03 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කරනු ලබයි. නමුත් එම දැඩිසත්කාර ඒකක වල සේවය සඳහා දැඩිසත්කාර පුහුණුව ලත් හෙද නිළධාරීන් යෙදවීමට සෞඛ්‍ය බලධාරීන් අසමත්ව සිටී.

මේ තත්වය තුළ සෞඛ්‍ය බලධාරීන් දැඩිසත්කාර පුහුණුවක් නැති හෙද නිළධාරීන් එම දැඩිසත්කාර ඒකක සඳහා අනුයුක්ත කිරීමට තීරණය කිරීම අතිශය අමානුෂික තීරණයකි. ජීවිතයත් මරණයත් අතර සටනක සිටින අසරණ රෝගීන්ට අවශ්‍ය නිසි ඖෂධ ප්‍රතිකාරයත් හෙද සාත්තුවත් ලබාදිය හැක්කේ එවැනි රෝගීන් පිළිබඳව මනා දැණුමක් හා අත්දැකීමක් සහිත පළපුරුදු හෙද නිළධාරියකුට පමණි. එම දැණුම තුන් අවුරුදු හෙද පුහුණුව පමණක් ලත් හෙද නිළධාරියකුට ලබා දිය නොහැක.

ඒ අනුව මූලික හෙද පුහුණුව හැරුණුවිට වෙනත් කිසිඳු විශේෂිත පුහුණුවක් නොමැති ජාතික අක්ෂි රෝහලේ හෙද නිළධාරීන් 04 දෙනෙකු හා දන්තායතනයේ හෙද නිළධාරීන් 04 දෙනෙකු 2021.06.18 දින බලහත්කාරී ලෙස KDU දැඩිසත්කාර ඒකක වෙත යවා ඇත. ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් පිටත්කර හැරි 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් රෝහල තුළ සපයා නොතිබීම හේතුවෙන් ආපසු පැමිණ ඇත.

මෙම තත්වය කොවිඩ් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙන්ම, සෞඛ්‍ය ලේකම්ගේ නියෝගයන්ට අවනතව KDU දැඩිසත්කාර ඒකකවෙත ගොස් සිටින එම හෙද නිළධාරීන්ට ඉතා අවාසනාවන්ත ප්‍රථිඵල ඇති කළ හැක. එබැවින් වහාම දැඩිසත්කාර පුහුණුව ලත් හෙද නිළධාරීන් මෙම දැඩිසත්කාර ඒකකවලට අනුයුක්ත කළ යුතුව තිබේ. එසේ නොමැතිනම් මෙම දැඩිසත්කාර ඇදන් 38ක ප්‍රමාණය දිවයිනේ අනෙකුත් දැඩිසත්කාර ඒකක තුළට ගත යුතුය.