ඉක්මනින් පාසල් විවෘත කිරීමේ හැකියාවක් නෑ

g-l-peiris

කොවිඩ්  වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවසුවේය.

අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ  සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවයි.

කොවිඩ් වසංගතය සමග පාසල් පද්ධතිය අර්බුදයට යාම ශ්‍රී ලංකාවට පමණක් විශේෂවූ තත්වයක් නොවන බවකී අමාත්‍යවරයා ලෝකයේ  බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටින බවත් කීවේය.

‘‘කොවිඩ් වසංගත සමයේදී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රධාන උපක්‍රමය ලෙස පාවිච්චි කරන්නේ  මාර්ගගත දුරස්ථ අධ්‍යාපනයයි.  “ගුරුගෙදර” පාඩම් රූපවාහිනිය හරහා ලබා දෙනවා. ඊ තක්සලාව වැඩසටහන් ඉන්ටර්නෙට් ක්‍රියාත්මක වෙනවා. මේ මාධ්‍ය ප්‍රයෝජනයට ගත නොහැකි දරුවන් පිරිසක්ද සිටිනවා. ඒ ගැටලුවටද  ප්‍රායෝගික විසඳුම් ලබාදීමට අපි ක්‍රියාකරමින් සිටිනවා‘ යැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.