දුම්රිය සංවෘත සේවාවක් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලයි

දුම්රිය සංවෘත සේවාවක් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලයි

දුම්රිය සංවෘත සේවාවක් කිරිම සඳහා ප්‍රවාහන අමාත්‍ය වරයා ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් හා දුම්රිය සේවය පරිහානියට පත්වීමට බලපා ඇති විවිධ කාරනා සම්බන්ධයෙන් අවධානය යොමු කරවීම සහ කාර්යක්‍ෂම දුම්රිය සේවාවක් ඇති කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට දැන් වසර 157 කට ආසන්නය. එය ජනතාවට වඩා සමීප, ලාභදායි ප්‍රවාහන සේවාවකි. දුම්රිය සේවයට මෙහෙවර ප්‍රකාශයක් ඇත. ” මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආරක්‍ෂිත, විශ්වාසදායි නියමිත වේලාවට ධාවනය වන, සැකසුරවම් හා කාර්යක්‍ෂම දුම්රිය ප්‍රවාහන සේවාවක් සපයමු” යන්න එම මෙහෙවර ප්‍රකාශනයයි.

වසර ගණනාවක් තිස්සේ පවතින අවිධිමත්, අකාර්යක්‍ෂම කළමනාකරණය නිසා මෙම මෙහෙවර ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇත. පරිපාලනය, දුම්රිය ධාවනය හා මූල්‍ය කළමනාකරණය සලකා බැලූ විට දුම්රිය දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පරිහානියට පත්ව ඇත.

නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රවාහන මාධ්‍යක් ලෙස දුම්රිය සේවය යොදාගැනීම සහ දියුණු දුම්රිය සේවාවක් ඇති කිරීම සඳහා ක්‍රියා නොකිරීම නිසා මෙතෙක් පැවති ආණ්ඩු දුම්රිය සේවය දවැන්ත කඩාවැටීමකට ලක්කර ඇත. වංචා, දූෂණ, අක්‍රමිකතා සහ නාස්තිය ඉතා ඉහල මට්ටමකට පත්වී ඇත.

සම්මුඛ පරීක්‍ෂණයක් පවත්වා සුදුසු නිළධාරියෙකු තෝරාගෙන මාස ගණනාවක් ගතවී ඇතත්, ඊට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් නොකිරීම නිසා ස්ථීර දුම්රිය සාමාන්‍යාධිකාරී වරයෙකු පත්කර ගැනීමට ප්‍රවාහන අමාත්‍ය වරයා කටයුතු කර නැත. මෙම කාරණ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර ”සෞභාග්‍යයේ දැක්ම ” ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කාර්යක්‍ෂම දුම්රිය සේවාවක් ඇති කළ නොහැකි බව අපගේ විශ්වාසයයි.

දුම්රිය සේවය පරිහානියට පත්වීමට හේතුවී ඇති විවිධ ගැටළු හා ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු නොකර, දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීම හා දුම්රිය සේවකයින් සඳහා අනන්‍ය විශේෂිත වැටුප් ව්‍යුහයක් ඇති කිරීම මැයෙන් ප්‍රවාහන අමාත්‍ය වරයා, අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත.

ඇමතිවරයා සමග දේශපාලන හිතවත්කම් පවත්වාගෙන යන වෘත්තීය සමිති දෙක තුනක් හැර අනිකුත් කිසිදු වෘත්තීය සමිතියක් වැටුප් වැඩිකර ගැනීමේ අරමුණින් දෙපාර්තමේන්තුවේ ව්‍යූහාත්මක වෙනසක් කිරීමකට කිසිදු එකඟතාවයක් පලකර නොමැති බව පෙන්වා දෙන අතර, මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රේණී දෙකක අවශ්‍යතාව මත අතිශයින් පෞද්ගලික වූ ඉහල වැටුප් දිනාගැනීමේ අවශ්‍යතාව මත පමණක් බවද පෙන්වා දෙමු.

දුම්රිය සේවය දෙපාර්තමේන්තු ව්‍යූහයෙන් ගලවා දැමීම සඳහා, ප්‍රවාහන අමාත්‍ය වරයා විසින් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවහල් වන බව පෙන්වා දෙන අතර, ඒ සම්බන්ධයෙන් සහ දුම්රිය සේවය පරිහානියට පත්වීමට බලපා ඇති විවිධ කාරනා සම්බන්ධයෙන් ඔබ තුමාගේ අවධානය යොමු කරවීම සහ කාර්යක්‍ෂම දුම්රිය සේවාවක් ඇති කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අප සංධානයට කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.